Taboo Subjects

A Lankan blog that seriously questions Lankan value system

2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි – ටැබූගේ තේරීම | The Best Sinhala Blogs 2010 – Taboo’s Choice

Posted by Taboo on November 5, 2010

“කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබැ මටමැ වටී
බෝදියෙකින් වට බෝ කොළයෙක් සේ
අගී අගී ඔබැ මටමැ අගී…”

- නන්දා මාලිනී / සුනිල් ආරියරත්න | හේමන්තයේදී
________________________________

ටැබූ සබ්ජෙක්ට්ස් තම ද්විත්ව ශතක පෝස්ටය සඳහා සැරසෙමින් සිටී. මේ 199 වැන්නයි.

මේ පෝස්ටයත් සමඟ මෙතෙක් සිංහල බ්ලොග් අවකාශයෙහි අත්හදා නොබලන ලද නවමු උත්සාහයකට ටැබූ සබ්ජෙක්ට්ස් ප්‍රවිෂ්ට වේ. ඒ තමා බ්ලොග් රචකයකු බව මොහොතකට අමතක කොට, බ්ලොග් පාඨකයකු සේ, නිති කියවන සිංහල බ්ලොග් ‘තුරින් හොඳම ඒවා තෝරා ඇගැයීමට ලක් කිරීමය. මේ බ්ලොග් අඩවි ඇගැයීමට ලක් වන පළමු අවස්ථාව නොවුවද මෙතෙක් එය සිදුවූයේ පිටස්තරයන් අතිනි. ටැබූගේ බ්ලොග් දිවිය වසර දෙකකට අඩු වුවද, ඊට බොහෝ දිගු ඔහුගේ බ්ලොග් කියැවීමේ ව්‍යායාමය විසින්, මේ උත්සාහයට ඔහු සූදානම් කොට ඇතැයි යන්න ඔහුගේ හැඟීමය.

විශේෂිත ප්‍රවර්ග නවයක් යටතේද, අවසානයේ පොදුවේද මේ ඇගැයීම සිදු කොට ඇත.

ඇගයීම සිදු කොට ඇත්තේ දළ වශයෙන් 2010 ඔක්තෝබර් 31 වැනිදායින් අවසන් වන මාස දොළහ සඳහාය. 2010 ජූනි 30ට පසුව පෝස්ටයක් නොකරන ලද බ්ලොග් සලකා බලා නැත.

බ්ලොග් තේරීමේදී හැකි උපරිම මට්ටමින් අපක්ෂපාතී වීමට උත්සාහ දරා ඇත. බ්ලොගවකාශයෙහි අතථ්‍ය මිතුරන් රාශියක් සිටින කෙනකුට මෙය අසීරු කාරණාවකි. එහෙත් ටැබූ නම් වූ බ්ලොග් පාඨකයාගේ හිතවතුන්ගේ බ්ලොග් රැසක් මේ ලැයිස්තුවට එක් වී නැති බවද, ඒ වෙනුවට ඔහු හා කිසිම අන්තර්ක්‍රියාකාරීත්වයක් නොතිබූ පිරිසකගේ බ්ලොග් එයට එක් වී ඇති බවද සුපරීක්ෂාකාරීව බලන්නකුට පෙනී යනු ඇත. (ඇගැයීමට ලක්ව ඇති බ්ලොග් වලින් අඩු තරමින් දෙකක් විසින් ටැබූ දරුණු ලෙස විවේචනයට බඳුන් කොට ඇත්තේය.)

ටැබූ නිති බ්ලොගවකාශයට ප්‍රවේශ වන්නේ ‘ලාංකීය සිතිවිලි’ සින්ඩිකේටරය හරහාය. ඔහු ඊට වඩා අඩු සංඛ්‍යාතයකින් Kottu ද, අතිශය කලාතුරෙකින් ‘සිංහල බ්ලොග් කියවනය’ ද ඇසුරු කරයි. මේ නිසා ‘ලාංකීය සිතිවිලි’ හි සින්ඩිකේට් වන බ්ලොග් සඳහා මෙහි වැඩි අවස්ථා ලැබී ඇතැයි කෙනකු මතු කරන තර්කයෙහි යම් ඇත්තක් තිබිය හැකිය. එසේම මේ බ්ලොග් සියල්ල තෝරාගෙන ඇත්තේ ටැබූ නිති කියවන බ්ලොග් තුළිනි. මීට වඩා හොඳ බ්ලොග් සමහරවිට ඔහු ඇස නොගැටුණා විය හැකිය.

මෙවැනි අවස්ථාවකදී අදාළ බ්ලොග් එකින් එක ඇගැයීමට නිසි මන්ද යන්න හේතුපාඨවලින් පැහැදිළි කළ යුතුය. එහෙත් කාලය හා සම්පත් පිළිබඳ ගැටළු නිසා හැමවිටෙකම එසේ නොකොට අත්‍යාවශ්‍ය අවස්ථාවන්හීදී පමණක් ඒ විස්තරය සපයා ඇත. ඉදින් ඒ මඳ නම් කමෙන්ටු මාර්ගයෙන් නැඟෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපැයීමට ටැබූ අදහස් කරයි.

ටැබූ සබ්ජෙක්ට්ස්ගේ තේරීම අනුව සම්මාන ලැබිය යුතු, සිංහල බ්ලොග් අවකාශයේ හොඳම බ්ලොග් මේවාය.

1. පාඨක ඤාණ පරාසය පුළුල් කිරීම වෙනුවෙන්:

(i). පළමු ස්ථානය: තම තම නැණ පමණින්
(ii). දෙවන ස්ථානය: සංචාරකයාගේ බ්ලොග් සටහන
(iii). සම තෙවන ස්ථාන: අරුණි ශපීරෝ‍ වෙතින් සහ නීතිය හා ඔබ 

අරුණි ශපීරෝ සිංහල බ්ලොග් අවකාශයට වැඩිම තොරතුරු (information) ප්‍රමාණයක් නිරන්තරයෙන් එක් කරන්නිය බවට අවිවාදිතය. එහෙත් ඇය මෙහිදී තුන්වන තැන ලබා ගන්නේ සංගතව හා කේන්ද්‍රීය (focused) මාතෘකාවන් යටතේ ඒ තොරතුරු ඉදිරිපත් කරන්ට ඇය දක්වන දුර්වලතාවය මතය. ඇගේ පෝස්ටයක්, මාතෘකාව යටතේ ලියන්ට හා ඉතාම කෙටි වදන් සංඛ්‍යාවකින් තම අදහස ප්‍රකාශ කරන්ට සමත් කුමුදුලාල් පින්තුගේ පෝස්ටයක් සමඟ සංසන්දනයෙන් මෙය පැහැදිළි වනු ඇත. ශපිරෝ වෙනස් විය යුතුය ටැබූ නොකියයි. මෙය එකෛක පාඨක ඇගැයීමක් පමණෙකි.

2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්:

(i). පළමු ස්ථානය: ගැමියා
(ii). දෙවන ස්ථානය: සොඳුරු සිත
(iii). සම තෙවන ස්ථාන: Abnormal Minds සහ පුර සඳට ලියමි……

රචකයින් විශාල ප්‍රමාණයකගේ දායකත්වය ලබන හෙයින් ‘බූන්දිය’ ඇගැයීම සඳහා සලකා බලා නැත. දැවැන්ත සමූහ වෑයමක් එකෛක වෑයම් සමඟ සැසැඳීම අසාධාරණ නිසාය.

3. හොඳම සාමාජීය / දේශපාලන බ්ලොග්කරණය වෙනුවෙන්:

(i). පළමු ස්ථානය: W3Lanka
(ii). දෙවන ස්ථානය: කොලූගේ ලියමන් . Kolu’s Blog
(iii). තෙවන ස්ථානය: Reargate

දේශපාලන /සමාජ බ්ලොග් ඇගැයීම අසීරු, විවාදාපන්න කාරණාවකි. සිංහල බ්ලොගාවකාශයෙහි දේශපාලන බ්ලොග් බහුතරය (ඔවුන් කිසිදින පිළි නොගත්තද) යම් නිශ්චිත දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිති. මින් එකකට ‘හොඳයි’ කීම අදාළ දේශපාලන පක්ෂයේ  දර්ශනය පිළිගැනීමකි. එනිසා පක්ෂපාතීය හැඟුණු සියළු බ්ලොග් ඇගැයීමෙන් ඉවත් කරන ලදී. (බ්ලොග් රචකයකුගේ දේශපාලන පක්ෂපාතීත්වය වැරැදි යැයි මින් අදහස් නොකෙරේ. එහෙත් වක්‍රව හෝ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින බ්ලොග් අඩවියක් ඇගැයීමට ලක් කළ යුත්තේ ලංකා පුවත්පතින් මිස ටැබූ විසින් නොවන බව ඔහු සිතයි.) ඉහත බ්ලොග් තුන සාපේක්ෂව නිර්දලය. එක, දෙක, තුන තෝරා ඇත්තේ ඔවුන් ඉදිරිපත් කරන කාරණා අනුව නොව එම කාරණා ඉදිරිපත් කිරීමේදී දක්වා ඇති හැකියාව අනුවය.

මේ ඇගැයීම නිසා අදාළ බ්ලොග් අඩවි වල අන්තර්ගතය හා එකඟ වීමක් අදහස් නොකෙරේ.

4. අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන්:

(i). පළමු ස්ථානය: මාරයාගේ හෝරාව
(ii). දෙවන ස්ථානය: තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).
(iii). සම තෙවන ස්ථාන: දුකා.. සහ හිස් අහස

බ්ලොගවකාශයෙහි ආත්ම කථකයෝ බොහෝය. “හපන්කම්, මෝඩකම් හා පුරසාරම්” ලියන සියක් දෙනා අතර ඉහත රචකයින් සිව් දෙනා අව්‍යාජව, ගැඹුරින් හා ස්වයං විවේචනාත්මකව ජීවිතය දෙස බලමින් පාඨකයාට ඉගෙන ගන්ට දෙයක් ඉතිරි කරමින් තම ජීවිතාන්දරයෙන් කොටසක් ලියා තියා ඇත. එම උත්සාහය අවිඥානක විය හැකි වුවද එයින් රචනයෙහි වැදගත්කම අඩු නොවේ. තුන්වන ස්ථාන පිරි නමා ඇත්තේ මුළු බ්ලොග් එකටම නොව ඒවායේ තියුණු පෝස්ට් එකක් හෝ දෙකක් උදෙසාය. එක් බ්ලොග් රචකයකු වසර විසි එකක තරුණයකු බව නිරීක්ෂිතයි.

5. පර්යේෂණාත්මක බ්ලොග්කරණය වෙනුවෙන්:

(i). පළමු ස්ථානය: පිටස්තරයා-2
(ii). දෙවන ස්ථානය: රණරාළ | RanaRala
(iii). තෙවන ස්ථානය: පෙරමුණේ රාලගේ අටුවාව

මෙහි අවසානයේ දක්වා ඇති බ්ලොග් අඩවිය දැඩි වර්ගවාදී අන්තර්ගතයකින් යුක්තය. එහි අරමුණු සමඟ ටැබූගේ මොනයම්ම හෝ එකඟතාවයක් නැත. අවංකව කියතොත්, මේ බ්ලොග් අඩවිය පළ නොවන්නේ නම් යහපත්ය ටැබූගේ මතයයි. එහෙත් මේ බ්ලොග් අඩවියේ රචකයින් තම මතය පාඨකයාට ඒත්තු ගැන්වීමට තැත් කරන්නේ පර්යේෂණාත්මකව තහවුරු කළ දත්ත මඟිනි. (හැම විටම නොවෙතත්) එය බ්ලොග්වකාශයෙහි දුහුනන්ට සේම දත්ත මත නොව අයිඩියොලොජිය මත පුහු තර්ක නඟන සමහර බ්ලොග් රචකයින්ටද ආදර්ශයට ගත හැකි ප්‍රවේශයකි.

6. සරල ජනප්‍රිය බ්ලොග්කරණය වෙනුවෙන්:

(i) පළමු ස්ථානය: පිරි නොනැමේ.
(ii) දෙවන ස්ථාන (පහයි): “බිඟු නද”, වැම්පයර්, සීත සමීරෙන්…, …::: සියපත :::…  සහ ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න

7. හොඳම කාන්තා බ්ලොග්කරණය:

(i) පළමු ස්ථානය: අරුණි ශපීරෝ‍ වෙතින් 
(ii). දෙවන ස්ථානය: සොඳුරු සිත
(iii). සම තෙවන ස්ථාන: Abnormal Minds සහ පුර සඳට ලියමි……

8.  හොඳම යොවුන් බ්ලොග්කරණය:

(i) පළමු ස්ථානය: සයිබර් යාය
(ii) දෙවන ස්ථානය: BLOG ගඩොල්
(iii) තෙවන ස්ථානය: සුදාරකගේ අන්තර්ජාල සටහන

තෙවන ස්ථානයට පත් බ්ලොග් අඩවිය ඇගැයීමේදී සුපුන් සුදාරක තවමත් පාසල් ශිෂ්‍යයකු බැවින් ඔහුට බ්ලොග් රචනයේ ඇති සීමා සැලකිල්ලට ගෙන ඇත.

9. හොඳම දියස්පෝරික බ්ලොග්කරණය:

(i) පළමු ස්ථානය: දුමීගෙ කට කහන කතා 
(ii) සම දෙවන ස්ථාන: කතන්දර සහ දුකා.. 

කෙදිනක හෝ මුහුණට මුහුණ හමුවී නැතත්, කතන්දර සේම දුකාද ටැබූගේ පුද්ගලික මිතුරන්ය. ඔවුනට මීට වඩා හොඳ ඇගැයීමක් ලබා දිය හැකි නම් ටැබූ සතුටුය. නමුත් ටැබූගේ අදහස මේ දෙදෙනාම පසුගිය වසරක කාලය තුළ ඔවුන් ආරම්භයේදී දැක්වූ ප්‍රතිභාව දක්වන්ට අසමත්ව සිටින බවයි.

10. අවසාන විනිශ්චය
- පාඨකයකු හැටියට ටැබූගේ ප්‍රියතම බ්ලොග් අඩවි:

(i) පළමු ස්ථානය: මාරයාගේ හෝරාව
(ii) දෙවන ස්ථානය: ගැමියා
(iii) තෙවන ස්ථානය: සයිබර් යාය

හේතු පාඨ: ජීවිතය පිළිබඳව මාරයා කරන තරමේ ගැඹුරු කියැවීමක්, අතිශය සරල ළයාන්විත භාෂාවක් උපයෝගී කොට ගෙන කරන්ට අන් කිසිදු බ්ලොග්කරුවකු මේ දක්වා සමත් වී නැත. ගැමියා ඊට සමාන කියැවීමක් තුළින් ගැමි දිවියේ අතිශය සරල සිදුවීම් තමන්ටම ආවේණික නිර්ව්‍යාජ ගැමි වහර යොදා ගනිමින් චිත්‍රණය කරයි. මින් පෙර ගැමි කතා ලියූ කිසිදු ලේඛකයකු නොදක්වන අව්‍යාජත්වයක් ඒ වහරෙහි වේ. අවසානයට අකුරින් පමණක් නොව සිතුවමින්ද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා චිත්‍රණය කරන්නේ ඔබේද මගේද කතාවය.

මේ බ්ලොග් තුනටම පොදු ලක්ෂණ වේ. ඒ මතුපිටින් පෙනෙන අතිශය සරල බව යට සැඟවුණු ගැඹුර, නිර්ව්‍යාජත්වය හා නවමු බවයි. විදග්ධයන්ට හසු නොවන, එහෙත් අපේ මනසෙහි ගැඹුරුම තැන් ස්පර්ශ කරන  යම් අපූර්වත්වයක් මේ බ්ලොග් තුනෙහිම වන බව ටැබූගේ මතයයි.

සැ.යු: ටැබූගේ ඇගැයීම් සියල්ල සංවාදයට විවෘතය. ඔබේ ප්‍රියතම අඩවියට වැරැදි ඇගැයීමක් ලැබී ඇතිනම් ඒ කියන්ට කමෙන්ටු තීරුව විවෘතය. ටැබූගේ විනිශ්චයම අවසාන විනිශ්චය විය යුතු නොවේ. නලින් ද සිල්වාගෙන් ණයට ගත් යෙදුමකින් කීවොත් මේ සියල්ල මනසේ නිර්මාණය. එහි වාස්තවිකත්වයක් නැත.

3 bloggers like this post

115 Responses to “2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි – ටැබූගේ තේරීම | The Best Sinhala Blogs 2010 – Taboo’s Choice”

  1. “පර්යේෂණාත්මක බ්ලොග්කරණය වෙනුවෙන්:
    (iii). තෙවන ස්ථානය: පෙරමුණේ රාලගේ අටුවාව

    මෙහි අවසානයේ දක්වා ඇති බ්ලොග් අඩවිය දැඩි වර්ගවාදී අන්තර්ගතයකින් යුක්තය. එහි අරමුණු සමඟ ටැබූගේ මොනයම්ම හෝ එකඟතාවයක් නැත. අවංකව කියතොත්, මේ බ්ලොග් අඩවිය පළ නොවන්නේ නම් යහපත්ය ටැබූගේ මතයයි.හෙත් මේ බ්ලොග් අඩවියේ රචකයින් තම මතය පාඨකයාට ඒත්තු ගැන්වීමට තැත් කරන්නේ පර්යේෂණාත්මකව තහවුරු කළ දත්ත මඟිනි.”

    මෙම දත්ත එක් පැත්තක් පමනක් පෙන්වා මතයක් තහවුරුකිරීමට උත්සාහ කරනවානම් – පර්යේෂණාත්මක බ්ලොග්කරණය පිලිබඳව සැලකිල්ලටවත් ගතහැකිද?

    • Taboo said

      @මුදිත,

      අපි මෙහෙම කියමු.

      ඕනෑම නඩුවකදී නීතිඥයින් ඉදිරිපත් කරන්නේ තමන්ගේ පාර්ශ්වයට වාසි සහගත කරුණු පමණෙකි. එයින් ඔවුන් පර්යේෂණයන්හි නොයෙදුණු බව අදහස් නොවේ. නීතිඥයකුට “He has done his home work” කියන විට එය ඔහුගේ මැදහත් බව ගැන ප්‍රකාශයක් නොවේ. බ්ලොග්කරණයද ඊට සමානය.

      Peramunerala has obviously done his homework. Nobody can deny that.

      - Taboo

      • agreed but that distinction was necessary too

      • පෙරමුණේ රාළගෙ බ්ලොග් අඩවියට ඉස්සර මමත් ගියා. කමෙන්ටුත් දැම්මා. කිහිප වතාවක් කමෙන්ට් සංවාද වලටත් සහභාගි වුනා. හැබැයි මේ අඩවිය වටේ ඉන්නෙ “අඩෝ මේ සින්හල බවුද්ද අපේ ඒරියල් එක. මොකද ඩෝ කියන්නෙ” ජාතියෙ සරම කරට ගත්ත, සංවාද කියන්නෙ මොනවද කියල දන්නෙ නැති, දාමරික පිරිසක් කියල තෙරුනාට පස්සෙ ඒ පැත්තෙ යන එක අත් ඇරිය.

        Peramune Rala has no doubt does his homework. For example, I will be the first to agree with his criticism of Islam and Muslim community. However, when he does that from the Sinhala Buddhist perspective, his whole effort just adds to the problem. Content of that blog never be part of a solution, but always be part of a problem.

        Tribalism in in all its forms is harmful for the human civilization. Thats why I am against all its ugly faces including Muslim tribalism as well as Sinhala Buddhist tribalism. Tribalism creates a culture where bad people with bad behaviors and screwed up value systems to get “accepted” in a community, simply because they “stand for the tribe”.

        Rather than further promoting that blog, which already attract all the rouge elements in Sinhala Buddhist chauvinism, you could have conveniently “ignored” the blog if you really do not agree with the content.

        Sorry about sounding like a dick. Could not help it.

    • පෙ. රාළ said

      පෙරමුනේ රාලටත් මෙතන තැනක් හම්බ වෙලා. ඒ විතරක් නෙවැයි ඔහුගේ මහන්සියට ප්‍රතිපලද හම්බවෙන්ඩ පටන් අරන්. පොලීසිය මුස්ලිම් ගම්මානයක්ම ගිනිතියල..හුරේ..
      http://www.lankaenews.com/English/news.php?id=10233

  2. දියස්පෝරික ???
    Meaning of that word please ???

  3. හත්තිලව්වෙ.. මේ තියෙන්නෙ මටත් සම්මානයක්.. :O

    හැබෑටම කොහොමද ඔච්චර ගොඩක් ඔලුවෙ තියන් ඉන්නෙ..

  4. blogreader said

    1.කලින් පෝස්ටයක කියා තිබූ පරිදි taboo යනු හතර් දෙනෙකුගේ එකතුවක් නම් මෙහිදී ඒකවචනය “ඔහු” භාවිත කර ඇත්තේ ඇයි?
    2.හොඳම “පුරුෂ” බ්ලොග්කරණය ට තැනක් නැද්ද?

  5. Taboo said

    @blogreader,

    1. මෙබඳු නිසරු ප්‍රශ්න වලට පිළිතුරු දී හෙම්බත්ව සිටිමි. හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස නොව හඳ දෙස බලන්න.

    2. 90%කටත් වඩා සිංහල බ්ලොග් පුරුෂයින් විසින් ලියැවෙන විටෙක ඒ සඳහා වෙනම කැටගරියක් අවශ්‍ය නොවේ.

    - Taboo

    • blogreader said

      ලියන්නාගේ ස්ත්‍රී-පුරුෂ බව තීරණය කිරීම කළ හැකි වැඩක්ද? උදාහරණයකට ඔබේ බ්ලොග් එකෙත් “ලියන්නෝ” අතර “ලියන්” ඉන්නවාදැයි කවුරුත් දන්නෙ නැහැනෙ.

  6. සෝඩා බෝතල් වලට සම්මාන නොදී‍ තේරීම් කරපු එක ගැන සතුටු වෙනවා. නමුත් මෙතනදි ටැබූගෙ සම්මාන ගො‍ඩක් බ්ලොග් වල පාඨක ප්‍රතිචාර වලට සමානුපාතිකයි ව‍‍ගේ මටනම් පේන්නේ.. ගොඩක් comments නැති ඒත් යමක් දෙන්න උත්සාහ කරන තව බ්ලොග් ගොඩක් තියේ.

    • Taboo said

      @කණිෂ්ක,

      බ්ලොග් එකක් ජනප්‍රියවීම යනු එයින් වඩා හොඳ සමාජ මෙහෙවරක් කෙරෙන බවට ඉඟියක්. නමුත් ඉහත ඇගැයීමට ලක්වූ හැම බ්ලොග් අඩවියක්ම ජනප්‍රිය ඒවාම නෙවෙයි. නීතිය ඔබයි, සංචාරකයාගේ බ්ලොග් සටහන, හිස් අහස වැනි අඩවි ලොකු ජනප්‍රියතාවයක් දිනාගෙන නැහැ.

      - Taboo

      • ඔබ වැනි බ්ලොග් කලාවේ දැවැන්තයෙක් මගේ අළුත උපන් “හිස් අහස” බ්ලොග් අඩවිය වෙත පැමිනීම ගැන මම ආඩම්බර වෙමි !

        Taboo ඔබට ජයවේවා!!

  7. Asanga Chandrawansa said

    Taboo,
    I greatly appreciate your ethics and the objectivity in this evaluation.

  8. සියලු බ්ලොග් කරුවන්ට සහායක් වෙමින් ඔවුන්ව ඇගයීමට ලක් කිරිම පිලිබඳව මුලින්ම විවේචනයේ සුබ පැතුම්. මෙහිදි සමහර බ්ලොග් ඔබට මග හැරී ඇත. එහෙත් එක් පුද්ගලයෙකු ලෙස ඔබ මේ තොරාගැනිම් සියල්ල කලා නම් එහි වරදක්ද නැත. අපහට පැන නැගුණු පහත පැනයන්ට පිළිතුරු දීම ලබන අවුරුද්දේදි එම දුර්වලතා නැතිව සාර්ථක තේරීමකට රුකුලක් වනු ඇත.

    1. හොඳම යොවුන් බ්ලොග් කරණයට “BLOG ගඩොල්” යොදාගත්තේ එය සමූහව වශයෙන් ලියන බව නොදැනද?
    2. තාක්ෂනික අඩවි අතුලත් නොවූයේ ඇයි? වෙනම වර්ගයක් ලෙස හෝ?
    3. ඉතා මෑතකදි ආරම්භ වූ බ්ලොග් සඳහා වැඩි ඉඩක් වෙන් වූයේ ඇයි?

    • Taboo said

      @Viwechana,

      1. දැනගෙනය. නමුත් ඔබ මේ අඩවිය නිතර පරිශීලනය කරන්නේ නම් එහි අන්තර්ගතය බොහෝ විට එක් පුද්ගලයකු හරහා එන බව නිරීක්ෂණය කරන්ට ඇත. අනෙක තුන් ඇඳුතු සම්මාදමක් එය තීරණාත්මක ලෙස “සමූහ නිර්මාණයක්” කරන්නේ නැත. (පෙරමුණේ රාල සම්බන්ධයෙන්ද මෙය සත්‍යය.)

      2. වෙනම පිළිතුරු දී ඇත.

      3. මුලින්ම “ඉතා මෑතකදී ආරම්භ වූ” බ්ලොග් සඳහා වැඩි ඉඩක් වෙන්ව නැත. එවැනි බ්ලොග් ඉහත ඇත්තේ කිහිපයකි. අනෙක එය එසේ වුවද, මුල් තැන දී ඇත්තේ අන්තර්ගතයට විනා ඉතිහාසයට නොවේ.

      - Taboo

  9. Taboo said

    @සියල්ලන්ටම,

    මෙහි තාක්ෂණික / පරිගණක තාක්ෂණික බ්ලොග් ඇගැයීමට ලක් වී නැත. ඊට හේතුව ටැබූ මේ කිසිම බ්ලොග් එකක් නිතිපතා පරිශීලනය නොකිරීමයි. සිංහල බ්ලොග් අවකාශය තනි සින්ඩියක් වටා රොක් වූ එක් යුගයක ඔහු යම් පමණකට තාක්ෂණික බ්ලොග් කියවීය. (විශේෂයෙන්ම ප්‍රවීන් ඉන්ද්‍රනාම, පහන් සරත්චන්ද්‍ර වැන්නන්ගේ දෙමුහුන් බ්ලොග් ) නමුත් “කාලිංග අයියා” තම “අයියා කම” ප්‍රදර්ශනය කරමින් අන්තනෝමතිකව හා හිතු මතයට දේශපාලන බ්ලොග් වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්ට පටන් ගැනීමෙන් වූ අර්බූදය සිංහල බ්ලොගවකාශයෙහි බෙදීම් ඇති කළාට පසු ඒ සිරිත ඉබේම නැතිව ගියේය.

    අනෙක් අතට, C හැරුණු විට වෙනත් කිසිම පරිගණක භාෂාවක් නොහදාළ ටැබූ තාක්ෂණික බ්ලොග් ඇගැයීමට තරම් ප්‍රාමාණිකයක් නොවේ.තාක්ෂණික බ්ලොග් ඇගැයීමක් කළ හැකි කෙනකු වෙතොත් ටැබූ ඒ ඇගැයීම පළ කිරීමට කැමැතිය. (තීරකයාගේ නම සඳහන් කර හෝ නොකර )

    - Taboo

  10. Paradox said

    හොඳම දේශපාලනික විහිලු බ්ලොග් අඩවිය ලෙස පිස්සාගේ පළාමල්ල ගැන මොකද හිතන්නේ ?

    • Taboo said

      @Paradox,

      නිර්මාණශීලී අදහස්. නිර්මාණශීලී හා ව්‍යාකරණානුකූල භාෂාවක්. නමුත් මා නිතර බ්ලොග් එකක් නොවේ. අනෙක මා තේරූ දේශපාලන බ්ලොග් තුනම අනිවාර්යයෙන්ම මීට ඉදිරියෙන් ඉන්නේ.

      Satire කියා කැටගරියක් නොකළේ ඊට වර්ගීකරණය කරන්ට තරම් බ්ලොග් ගණනක් නැති නිසා.

      - Taboo

  11. T said

    w3ලන්කා පිලිබදව දක්වා ඇති සධාරණත්වය වටී. නීතිය සහ ඔබ ලියන ලේඛකයාගේ ම බුදු දහම සම්බන්ධයෙන්ද පලවෙන තවත් බ්ලොග් එකක් ඇත.
    http://budurashmiya.blogspot.com/

  12. prikumara said

    very good post. more and more , i read this blog, more and more and more i like it. I read all posts and commnets. Unfortunately i am not intelectual as you all are to put analytics into these posts. Thanks taboo for invigorating and thought provoking posts. Congratulations on your 200th post ( in advance).

  13. කෝ මිගාරගෙ සම්මානෙ?

  14. Beetle said

    ‘කෙදිනක හෝ මුහුණට මුහුණ හමුවී නැතත්, කතන්දර සේම දුකාද ටැබූගේ පුද්ගලික මිතුරන්ය. ඔවුනට මීට වඩා හොඳ ඇගැයීමක් ලබා දිය හැකි නම් ටැබූ සතුටුය. නමුත් ටැබූගේ අදහස මේ දෙදෙනාම පසුගිය වසරක කාලය තුළ ඔවුන් ආරම්භයේදී දැක්වූ ප්‍රතිභාව දක්වන්ට අසමත්ව සිටින බවයි.’

    ක්‍රීඩකයෙකුට තමාගේ හොඳම කාලයක් තියෙනවා වාගේ බ්ලොග් රචකයෙකුටද හොඳම කාලයක් ඇත්දැයි මට හිතෙනවා…

    අවංකව කියතොත් කතන්දර, දුකා පමණක් නෙමෙයි Taboo Subjects ද මේ දිනවල ‘form’ එකේ නැති බව මාගේ පුද්ගලික අදහසයි…

    මා කියවන බ්ලොග් අතරින් මේ දිනවල rank එකේ උඩින්ම ඉන්නෙ සයිබර් යාය…

  15. ස්තූතියි ටැබූ.

    නොවැලැක්විය හේතුවක් නිසා මට නම් මගේ බ්ලොග් එක මින් ඉදිරියට යාවත්කාලීන කරන එක ගන විස්වාසයක් නෑ.

    ඒත් ගොඩක් අඩවි ගැන ටැබූ ගේ තේරීම් මගේ තේරීම් එක්කත් සමපාත වෙනවා.

    මුල් අවදියේ බ්ලොග් වල තිබුනු නිර්මාණාත්මක භාවය හා ගුනාත්මක භාවය අඩුවේගන යන මේ වගේ කාලයක බ්ලොග් ලියන්නන්ට තමන්ගේ අඩුපාඩු හදාගැනීමට ඉඩ සලසනු වස් ටැබූ විසින් කරපු මේ ක්‍රියාව මම ඉතා අගය කොට සලකනවා.

    අනිත් දේ නම් ගූගල් බzz නිසා (කියලා මම උපකල්පනය කරන ) අක්‍රිය වුනු බ්ලොග් රචකයන්ව ආයෙත් පරන ට්‍රැක් එකට ගන්න මේ ලිපිය ඉවහල් වේවා කියලත් මම පතනවා.

  16. Rasika said

    මේ ලිපියේ ඇති එක් වැදගත් කමක් නම්- බ්ලොග් රෝලක් නොකරන ටැබූ ගේ බ්ලොග් එකේ වෙනත් බ්ලොග් ගොඩකට ලින්ක්ස් දමා තිබීමයි.

    මා නොදැන සිටි අළුත් බ්ලොග් කීපයක්ම හමු වුනා ඒ හින්දා. Thanks Taboo.

    මේ ඩයස්පොරික් කැටගරිය ගැන නම් මට එකඟ වෙන්න බැහැ. ඩයස්පොරික වීමට නම් එක්කෝ අන්තර්ගතය පිට රටක් ගැණ විය යුතුයි, නැතිනම් පිටරටක සිට ඒ අනුසාරයෙන් ලංකාවේ ප්‍රශ්ණ ගැණ විමසා බලන බ්ලොග් විය යුතුයි. කතන්දර බ්ලොග් එකේ අන්තර්ගතය ඩයස්පොරික වෙන්නේ කෙලෙසදැයි මට නොතේරේ.

    කතන්දරත් දුකාත් ටැබූ ගේ යාළුවෝ ලු. ඒ නිසා ද මේ Diasporic කැටගරිය හැදුවේ?

    With that exception, I am in general agreement with Taboo’s pics.

    • Taboo said

      @Rasika,

      දියස්පෝරික කැටගරිය හැදුවේ කිසිවකු හිතේ තියාගෙන නොවේ. දියස්පෝරික බ්ලොග් වල අන්තර්ගතය වෙනස්ය. එබැවින් ඒ සඳහා වෙනම කැටගරියක් අවශ්‍ය බව ටැබූ කල්පනා කළේය.

      කතන්දර සේම දුකාද, කෙළින්ම සඳහන් නොකළත් (සමහර විට අවිඥානකව ) දියස්පෝරාවට ආවේණික මාතෘකා ගැන කතා කරති. කතන්දරගේ මැදපු කමිස ගැන කතාව පවා එවැන්නකි. මේ ඇගැයීම ඒ වෙනුවෙනි. කිසිසේත්ම යාළු කමට නොවේ. එවන් අදහසක් ඇති වී නම් කමන්න.

      - Taboo

      • Rasika said

        ඔබ සලකා ඇත්තේ බ්ලොග්වල අන්තර්ගතය නොවන බව මෙයින් පෙනේ.

        දුමී ගේ් පෝස්ට්වල මට නම් ඩයස්පෝරික ගතියක් නොපෙනේ. දුකා නම් තරමක් දුරට මැද පෙරදිග ගැන ලියයි. කතන්දර ගේ කතන්දරවල කිසිදු ඩයස්පෝරික කමක් මට නම් නොපෙනේ. මැද-පු ක-මිස පෝස්ටය හොඳම උදාහරණයයි. සමහටවිට කතන්දරකාරයා ගේ කමිස නොමැදීම non-Sri Lankan එකක් කියා ඔබ හිතුවාද මන්දා?

        අරුණි ගේ පෝස්ට් බැලීමෙන් මම ඇමරිකාව ගැන උගත්තෙමි. වෙනස් කතා වැනි පිටරටවල් ගැන කතා ලියවෙන බ්ලොග් ද ඇත.

        ඩයස්පෝරික යන අදහස දෙන්නට විසිරි-ජන යනුවෙන් වචනයක් ඇත. විගාමික සහ විප්‍රවාසී යන වචනද යෙදේ.

        Thanks Taboo.

      • Taboo said

        @Rasika,

        කාන්තා කැටගරිය ගැනත් කවුරුන් හෝ කියන්න පුළුවන් මේ අය කාන්තාවන් වුණාට ලියන්නෙ කාන්තාවන්ට සුවිශේෂ මාතෘකා නෙවෙයි කියල. :-)

        කතන්දරකාරයාගේ මැදපු කමිස කතාව පැහැදිළිව non Sri Lankan issue එකකි. ලංකාවේ නොමැදපු කමිස අඳින්නෝ නොවෙති. එසේම එමඟින් විදේශ ජීවිතයේ යම් පැතිකඩක් (සමහරවිට අවිඥානකව) නිරාවරණය කෙරේ.

        Diaspora කියන වචනයේ අප සාමාන්‍යයෙන් භාවිතා කරනවාට වඩා ගැඹුරු තේරුමක් ඇත. එය විසිරි-ජන යන අරුත දෙන ගමන්ම යළි ඓන්ද්‍රීයව එක් වූ ජන කොටසකිය යන අරුත දෙයි. එනිසා මම දියස්පෝරික කියන වදනට ප්‍රිය කරමි.

        - Taboo

    • greengas said

      Mama maa gana prashna aseema haa mama maa gana pilithuru sapayeema, me monda manasika ledakda?? ohoma hawule andagammu.. kalak yayi… kaatath.

  17. Nuwan said

    “2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්”

    For this category you should have considered about “tikakhinawenna.blogspot.com” and “kathanaradara.blogspot.com”. Though these bloggers don’t present highly sciencific findings, They present interesting stories creativily which others cannot do.

    “Ranaral” should be come to first place as it expose very big fraud of society.

    Thanks

  18. තේරීම 98% නිවැරදිය ටැබූ සබ්ජෙක්ට් ද අසාධාරණකම් ගැන නොබියව කෙලින් කථාකරන අගනා වියණුවකි!-

  19. abeetha said

    මෙන්න මටත් සම්මානයක් තියෙනවා…. දැන් ඉතින් ආයෙත් පන කඩාගෙන ලියන්න වෙනවා… ස්තූතියි ටැබූ………..

    • Taboo said

      @Abeetha,

      සමාවන්න, මොකද්ද ඔබේ බ්ලොග් එක?

      - Taboo

      • abeetha said

        ටිකක් හිනාවෙන්න…. කියන පුංචි බ්ලොග් පිටුව….

      • ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න

      • Taboo said

        Abeetha,

        ස්තූතියි. කමෙන්ට් නොකළාට, මා නිතරම ඇවිත් ටිකක් හිනාවෙලා යන තැනක්.

        ඔබේ බ්ලොග් එකේ රන්බණ්ඩා සෙනෙවිරත්න ගැන දැක්වූ සටහනකට කෙටි ප්‍රතිචාරයක් දැක්විය යුතුය සිතුණත් පසුව ඒ අදහස වෙනස් කළා. රන්බණ්ඩා සෙනෙවිරත්න නරක මිනිහෙක් නෙවෙයි, අනෙක් අතට ඔබ හිතන තරමේ සාන්තුවරයකුත් නෙවෙයි. දැනට ඒ ඇති.

        - Taboo

      • Nuwan said

        හා හා දැන් බැලුවාම tabooටත් මනුස්ස ගතිගුන ටිකක් තියෙනවා. ඒකනෙ හිනා යන්නෙ. මම හිතුවා මුලු ජිවිතෙම විද‍යාවෙන් පුරව ගෙන කියලා. හික් හික්

    • අධීත,
      මගේ සුභ පැතුම්. මාත් “ටිකක් හිනාවෙන” කෙනෙක්. ඔබේ බ්ලොග් එකේ උඩින් මා ගැන ලියා ඇති කෙටි සටහන මට හරි ලොකු දෙයක්. නොනැවතී ඉදිරියට.
      -කතන්දර

    • Nuwan said

      hello Ayye,

      I requested to taboo to consider ur blog(tikakhinawenna) and kathandarablog for awards. However it is very glad to here that now u started writting again. I didn’t believe that u would too engergized due to my post. I’m very happy. :)

  20. gemiya said

    බොහොම ස්තූතියි, ටැබූ ඔබගේ දිරි ගැන්වීම මට සැබවින්ම සවියක්.

    ………….විකී……………

  21. මුලින්ම කියන්න තියෙන්නෙ බොහොම ස්තුතියි කියලා ටැබූ.බ්ලොග්කරුවන් විසින්ම බ්ලොග්කරුවන් ඇගයීම වෙනත් අයගේ ඇගයීම් වලට වඩා සාර්ථකයි කියලා හිතනවා.කොහොම වුණත් ඔබට ඔබගේ අඩවිය ඇගයීමට නොහැකි නිසා අපිවත් ඒක අගයන්න එපායැ!

    මගේ මතය අනුව සිංහල බ්ලොග් අවකාශයෙ දැනට බිහිවුණ හොදම සහ සාර්ථකම බ්ලොග් අඩවිය තමයි ‘ටැබූ සබ්ජෙක්ට්ස්’(අවංකවම)

    ඉදිරියටත් බ්ලොග් ගඩොල් තුලින් සිංහල බ්ලොග් අවකාශයට හොද දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා

  22. මම සොඳුරු සිත.ඔබට ස්තූතියි මගේ බ්ලොග් පිටුව ඇගයීමට ලක් කිරීම ගැන.. මට හරි බයයි ඔබතුමාගේ බ්ලොග් කමෙන්ටු වලට වචන බාවිත කරන්න…

    ඔබතුමා ලියන පෝස්ට් කියෙවුවත් කවදාවත් මම කමෙන්ටුවත් ලියල නැහැ. හේතුව වචන බාවිතය පිළිබඳ ගැටළුව.

    ඒත් මේ පෝස්ට් එක නිකම්ම කියවල හැංගිලා යන්න බැරි නිසයි මේ විදිහට හරි කමේන්ටුවක් ලීවේ…

    අනික ඔබතුමා වගේ කෙනෙක් මම ලියන දේ කියවන විත්තියත් ඇත්තටම මම දන්නෙ අද.

    • Taboo said

      @෴වත්෴,

      ඇත්ත. මගේ ශිෂ්‍යාවනුත් සමහර විට වාරයක් මුලදි චිට් ලියල එවනව “සර්, කියන සමහර දේවල් ටිකක් සැර වැඩියි” කියල. ඒ වුණාට දේශන වලට නෑවිත් ඉන්නෙත් නෑ.

      වාරෙ අගදි නම් ඒ අයම කියන්නෙ “සර් එහෙම කියපු නිසා තමයි අපට කරුණු මතක හිටියෙ” කියල. තාම නං කවදාවත් ඉහළට පැමිණිල්ලක් ගිහින් නෑ. ගියපු දාට නං ඉතින් ගස් තමයි.

      - Taboo

      • ගුරු ‍හොරු ගැන මිසක් ගුරුවරු ගැන ඉහලට පැමිණිළි යන්නේ නැහැ….

        මමත් තවම විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා අතර සාක්කුවෙ තියෙන ලකුණු දීමේ ලෝබ කමින් පෙළෙන ගුරුවරුන් ඇරුණම අනිත් ගුරුවරු සැමොම ගැන ඉතා පැහැදීමෙන් සිටිමි …

    • වත්,
      නිරහංකාර බව හොඳ දෙයක්. ඒත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. මගේ සුභපැතුම්.
      කකා

  23. මෙන්න මගේ ලිස්ට් එක
    1.ටැබූ
    2.රාමචන්ද්‍ර
    3.w3Lanka
    4.පිටස්තරයා2
    5.මයියා
    4.පෙරමුණේ රාළගේ අටුවාව
    5.කතන්දර
    අනික් බ්ලොග ඊළගට…
    කොහොමත් අන්තර්ජාලය පැත්තෙ ආවොත් ඔය අනු පිළිවලට ගිහින් බලනව අලුත් ලිපි තියේද කියල.
    සිංහල බ්ලොග් රචකයන්ගේ සංගමය නිසා තමයි මීට වසර දෙකකට වගේ පෙර සිට බ්ලොග් කියවන්න පුරුදු උනේ. ඔවුන්වත් මේ වෙලාවෙදි මතක් කලයුතුමයි කියල හිතෙනව.

    • Anonymous said

      ටැබූ අංක එකට දාන්නෙ ඔබත් ටැබූගෙන් සම්මාන ගන්නද ? මම නම් හිතන්නෙ නෑ ටැබූ අංක එකට තියා පළමු 10 අතරටවත් එන්න පුලූවන් එකක් කියල හැබැයි නරකමත් නෑ

  24. h said

    විශිෂ්ඨ නිර්මාණකරණය ගැන ගත්තම මම නම් ලකුණු දෙන්නෙ මේකට…
    http://sihinasewanali.blogspot.com/
    නමුත් පහුගිය කාලෙ නැවතිල තිබිල ආයෙත් ළඟදි තමයි පටන් අරන් තියෙන්නේ…

  25. ටැබූගේ ඇගයීම සංචාරකයාට සැබෑ දිරි ගැන්වීමක්. බොහොම ස්තුතියි ටැබූ.

  26. ටැබූ,
    කෙනෙක් මගේ පෝස්ට් එකක් කියවා එයට ප්‍රතිචාර දැක්වීම දැකීමම මට මහත් සතුටක්. ඉතිං සයිබර් යාය හොඳම යොවුන් බ්ලොග්කරණය සහ ටැබූගේ ප්‍රියතම බ්ලොග් තුනෙන් එකක් කියලා දැනගත්තම එයින් මතුවූ සතුට වචන වලට පෙරලන්න ඕනේ කියලා මම හිතන්නැ!

    ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අවකාශයෙන්, සයිබර් යායට ලැබුනු මේ අගය කිරීම මට මහත් උත්ප්‍රෙරකයක් වෙනවා නොඅනුමානයි!

    මාවත් අපේ අනෙක් බ්ලොග් කරුවනුත් අගය කිරීම ගැන ඔබට ස්තුතියි!

    ඒ වගේම ප්‍රතිචාර අතර සයිබර් යාය මතක් කළ බීට්ල්ටත්, කෙහෙල්කොටුවේ චූටිමහත්තයාට සුබ පැතූ බ්ලොග් ගඩොල්ටත් මගේ ස්තුතිය!

    • @Buddhi
      බුද්ධි ට මගේ සුභ පැතුම්.

      බුද්ධිගේ ප්‍රීතිය තවත් වැඩි වෙන්න තවත් හේතුවක් දෙන්නම්.

      ඒක තමයි ටැවූ විසින් බුද්ධිව සුපුන් සුදාරක ලා එක්ක යොවුන් කැටගරියේ ලා සැලකීම.

      මං කළා නං, දැන් කසාද බැඳලාත් මාස ගාණක් ගතවුණු, තව ටික කාලෙකින් තාත්තාව සීයෙක් කරන්න බලං ඉන්න, බුද්ධිව දාන්නේ වැඩිහිටි ගණයටයි.

      • Taboo said

        @Kathandara Karaya,

        මෙය විවාදාපන්නය.

        වසර 14, 15 වයසේදී මව් පදවිය ලබන දැරියෝ වෙති. ඔවුන් වැඩිහිටියන්ද? යොවුනන්ද?

        මම මුලදී ‘යොවුන්’ හා ‘නව යොවුන්’ වශයෙන් කැටගරි දෙකක් සලකා බැලීමි. නව යොවුන් කැටගරියට බ්ලොග් මඳ වූ නිසාය දෙක එක් කළේ.

        - Taboo

  27. මාරයාගේ හෝරාව... said

    මුලින්ම කියන්න ඔන ස්තූතියි කියන වචනය..

    ඊ ළගට කියන්න ඔන වචනය හෝ කිහිපය ගැන මම තාමත් කල්පනා කරනවා…
    දැන් ඔබ ගැන වර්ණනා කරන්න ගියොත් දෙන්නත් එක්කලා දෙන්නාගේ පිට කහ ගන්නවා වගේ පෙනෙයි…
    විවෙචනය කරන්න ගියොත් ගුණමකු උනා වගේ තියෙයි.
    මොකුත්ම නොකියා හිටියත් ලොකුකමක් වගේ පෙනෙයි..

    මට දැන් තියෙන ඊ ළග ගැටළුව ඔය සම්මාන උළෙලවලල් වල සම්මාන ගත්තම..ඒ ගන්න අයට ඇති වෙන හැගීම කොයි වගේද කියන එකයි.
    ඒ හැගීමයි..තමන්ම එස් එම් එස් ගහලා සම්මාන ගනිද්දී දැනෙන හැගීමයි දෙකම එක වගේද..නැත්තං වෙනස්ද..
    හ්ම් සෑහෙන්න හිතන්න ඔන..

    දැන් මම මොකද කරන්න ඔන..

    තව තවත් ලියනවා ඇරෙන්න.
    ඒත් සමහර දේවල් ලිවීම ගැන දෙපාරක් නොහිතත් බැහැ.
    අනේ මන් දන්නේ නැහැ..

    • Taboo said

      @මාරයාගේ හෝරාව,

      /දැන් මම මොකද කරන්න ඔන../

      ගෞතම බුද්ධ අවවාදය ජයග්‍රහණයේදී උපේක්ෂා සහගත වීමයි.

      - Taboo

      • මාරයාගේ හෝරාව... said

        ඔව් ඒක තමයි විය යුත්තේ..

        ඉතින් දැන් මම මොකවත්ම කරන්න ඔන නැහැ නේද..?

      • Taboo said

        ඔව්. මා දන්නා බුද්ධ ධර්මය අනුව නම් වෙන කිසිවක් කළ යුතු නැහැ.

        - Taboo

    • @මාරයා
      මගේ සුභ පැතුම්.

      මං කල්පනා කලේ ආයෙ ගිහිං මහන වුනොත් හරි, එයාෆෝස් ගියොත් හරි තව කතන්දර ටිකක් කියවන්න අපිට ලැබේවි නේද කියලා. දැන් සිකා සහ ලව් සිකා කතා විතරනේ යන්නේ.

      • මාරයාගේ හෝරාව said

        ස්තූතියි…

        දැන්මම නං ඔන නැහැ..පරණ අන්දර තව සෑහෙන්න තියෙනවා..මෙ වෙගෙට ලියලානං තව අවුරුදු දහයකටවත් ඒ ටික ඉවර කරන්න වෙන්නේ නැහැ.
        ඒත් ඉතින් ඔය හැම එකක්ම ලියන්න ඔනයෑ…

  28. W3Lanka said

    සිංහල බ්ලොග් අවකාශයේ ඇතැම් ප්‍රකට, එහෙත් මා මෙතෙක් නො දැන සිටි ඉසව් කීපයක් පිළිබඳව ද මෙම ලිපියෙන් දැනුවත් වුණෙමි.

    අප පිළිබඳ කළ ඇගයීමට විශේෂයෙන් ස්තුතියි.

  29. ටැබූ,
    සිංහල බ්ලොග් කරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අගය කිරිමේ ඔබගේ ප්‍රයත්නය ප්‍රශන්සනීයයි. විෂේශයෙන්ම ඔබවන් සමාජයේ සෑම අන්තයක්ම සෑම විටම විවේචනයට භාජනය කරන්නෙකුගෙන් මේ කාර්ය්‍ය ඉටු වීම අගය කල යුත්තක්.

    මා බ්ලොග් අඩවියකින් බලාපොරොත්තු වන්නේ 1) රසවින්දනය 2) නිර්මාණාත්මක බව සහ සංවේදී බව 3) අධ්‍යාපනික වටිනාකම. (මෙය මාගේ පුද්ගලික මිණුම් දණ්ඩ පමණක් බව සලකන්න. ඔබගේ මිණුම් දඬු අභියෝගයට ලක් නොකරමි )

    ඉතාමත් අසීරු කරණක් ලෙස හැඟෙන ඔබගේ අවසන් තෝරාගැනීම මා අනුමත කලත් ඒ අතරට “දුකා” සහ “සොඳුරු සිත” ඇතුලත් විය යුතු බවයි මගේ හැඟීම. මෙය 1, 2, 3 වශයෙන් නොමැතිව හොඳම බ්ලොග් අඩවි 1 සිට 10 දක්වා පෙළ ගැස්සුවේනම් වඩාත් උචිත වේ යැයිද සිතේ.

    හුදු දේශපාලනික සත්වයෙකු/විවේචකයෙකු ලෙස මා දැන සිටි ඔබ වැන්නෙකු, හුදෙක් සරළ හාස්‍යය රසය රැගත් මාගේ බ්ලොග් අඩවිය වෙත පිසිසෙන්නෙකු යැයි දැන ගැනීමම සම්මානයට පාත්‍ර වීමක් ලෙස සලකමි. ඒ සමගම බලයෙන් ඔබ්බවන ලද කැටගරියක් ලෙස මට හැඟෙන “දියස්පෝරික” කැටගරිය ඇතුලත් නොවුනානම් වඩා අගනේ යැයිද මට සිතේ.

    කාන්තා බ්ලොග් කරණය අතරින් මාගේ මිණුමට අනුව ප්‍රථම ස්ථානය හිමිවිය යුත්තේ “සොඳුරු සිත” වෙතයි. ඒ වගේම “අතීතයෙන් අහුලන මතකයන්” අඩවියද නිර්මාණශීලීව තම ආත්ම කථනය ඉදිරිපත් කිරීම තුලින් ඉදිරියෙන්ම තියෙන්නක් වශයෙන් මා සලකමි.

    මේ අවස්ථාවේ ප්‍රථම ස්ථානයට පත් “මාරයාගේ හෝරාව” ටත්, දෙවන සහ තෙවන ස්ථානවලට පත් “ගැමියා” සහ “සයිබර් යායටත්” ඇගයීමට ලක්වූ අනෙකුත් සියළුම බ්ලොගයන්ටත් මාගේ සුභපැතුම් පිරිනමමි.

    • Taboo said

      @දුමී,

      දියස්පෝරික කැටගරිය බලයෙන් ඔබ්බවන ලද්දක් නොවේ. එයද කාන්තා හා යොවුන් කැටගරි සේම සියළු බ්ලොග් රචකයින් අතර යම් උප කුලකයකට විශේෂිත අවධානයක් දීම සඳහා ඇති කළ එකකි.

      - Taboo

      • Nish said

        දූමී ගෙ අදහසට මාත් එකඟයි නිර්මනාත්මක බව අතින් සොදුරු සිත අරුනි ශෑපිරොට වඩා ගොඩක් ඉහලින් තියන්න පුලුවන්.

  30. Paradox said

    බොහොම ස්තුතියි. කියවන්න හොඳ බ්ලොග් ටිකක් හොයලා දුන්නාට. මෙතෙක් කල් ටැබූගේ හා පිස්සාගේ පලාමල්ලේ පමණක් පාඨකයෙක් වූ මට දැන් ගොඩක් දේවල් කියවන්න තියෙනවා.
    පසුව ලියමි.
    ඔබ යලිත් ඔප්පු කලා සියළු සිංහල බ්ලොග් අඩවි අතරින් හොඳම අඩවිය Taboosubjects කියලා.

  31. Charmi said

    ඔබගේ ඇගයීම පිළිබඳව ස්තුතියි ටැබූ.

    එමෙන්ම සිංහල බ්ලොග් පිළිබඳව දැනගත්තේත් එවැන්නක් ලිවීමේ කැමැත්ත පහල වූයේත් ඉතා අහඹු ලෙස නෙත ගැටුන ඔබ බ්ලොග් අඩවිය නිසා බව කෘතඥතාපූර්වකව සටහන් කල යුතුයි.

    ‘ගැමියා’ පිළිබඳ ඔබගේ ඇගයීම සමග මාද සම්පූර්ණයෙන්ම එකඟයි. ඇත්තෙන්ම එය සුවිශේෂී බ්ලොග් අඩවියක්.

  32. දියස්පෝරික කියන එක හරියටම තේරුනේ නැහැ. ඒකෙන් අදහස් කලේ විදේශගත අය ලියන බ්ලොග් කියන අර්ථයද ? එහෙම නැත්තන් විසිරුණු මතෘකා සමූහයක් යටතේ ලියන බ්ලොග් කියන අදහසද ?

  33. පර්යේෂණාත්මක බ්ලොග්කරණය වෙනුවෙන් ප්‍රථම ස්ථානයට මාගේ බ්ලොග් අඩවිය තේරීම පිළිබඳව ස්තූතියි. එය ලොකු දිරි ගැන්වීමක්. ඒත් එකී ඉසව්ව යටතේ ම තුන්වැනි ස්ථානයට ‍තෝරා ඇති බ්ලොග් අඩවිය ගැන නම් මට ගැටළු ගොඩාක් තියෙනවා. ඒත් මේ මොහොතේ ඒ ගැන කතා කිරීම නොසුදුසුය කියා හිතන නිසා කිසිවක් ලියන්නේ නෑ. ඒ ගැන මුදිත හා රිටිගල ජයසේන සහෘදයින් ලියා ඇති දේවල් සමග මම සම්පූර්ණයෙන් ම එකඟයි. ඒ හැර එකී තුන්වනි ස්ථානයට ඔබ ‍තෝරා ඇති බ්ලොග් අඩවිය ගැන ඔබ ම වරක් මගේ බ්ලොග් අඩවියේ ලියන ලද සටහණක් මෙතැන යොදන්නේ ඔබේ විනිශ්චය කොතරම් නිවැරදිදැයි ඔබටම සිතා බලීමටයි.

    “පෙරමුණේ රාළගේ ලිපි ගැන කලබල විය යුතු නැහැ. ඔහුට ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයක් මිසක අධ්‍යාපනික කුහුලක් (academic curiosity) නෙවෙයි. තමන්ගේ දේශපාලනමය අරමුණු තකා සැබෑතතු වෙනස් කිරීම ඔහු වැන්නන්ගේ සාමාන්‍ය සිරිත.

    - Taboo”

    ඒ හැර පොදුවේ ඔබ මේ ගෙන ඇති උත්සාහය මම මහත්සේ අගය කරනවා.

    • පර්යෙශනාත්මක බ්ලොග් කරනය සැලකූවිට, “පිටස්තරයා-2″ගෙ අඩවිය මට ලාංකීය බ්ලොග් අඩවි අතර පමනක් නොවේ, මම දන්නා අන්තර්ජාතික බ්ලොග් කරනය තුල පවා සම්මානනීයයි.

      පෙරමුණේ රාළගෙ අඩවිය ගැන මම ඉහත කමෙන්ටුවක කී අදහස ගැන සුලු ඌන පූරණයක්: “අඩෝ මේ සින්හල බවුද්ද අපේ ඒරියල් එක. මොකද ඩෝ කියන්නෙ” ජාතියෙ සරම කරට ගත්ත පිරිස වශයෙන් මම අදහස් කලේ ඒ අඩවියෙ කමෙන්ට් දාන බහුතර පිරිස ගැන මිසක්, අඩවියෙ කතුවරුන් ලෙස පෙනී සිටින අය ගැන නොවේ. හැබයි ඉතින් වටවෙලා සද්දෙ දාගන ඉන්නෙ ඉන්නෙ බමරුන්ද, නිලමැස්සන්ද කියන එකෙන් දුරදිම දැනගන්න පුලුවන් එතැන තියෙන්නෙ මල්ද, වසුරු ගොඩක්ද කියලා.

    • Taboo said

      @පිටස්තරයා-2,

      පෙරමුණේ රාලගේ ‘රුධිර පරපෝෂිතයෝ’ සටහනට පාදක වූ පර්යේෂණය බැලූ විට එහි අරමුණ වර්ගවාදී න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම මිසක අධ්‍යාපනික කුහුල නොවන බැව් අන්ධයකුට වුව පෙනේ. නමුත් එනිසාම ඔවුන් පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ නොයෙදෙන්නේය යන කාරණය නිෂ්ප්‍රභා නොවේ.

      - Taboo

    • රණරාළ said

      දෙවන ස්ථානයට මාගේ බ්ලොග් අඩවිය තෝරා ගැනීම ගැනත් ස්තූතියි.

  34. Hasitha said

    මම කියවන බ්ලොග් වැඩි ප්‍රමාණක් ඇතුළත්ව තිබීම ගැන සතුටුයි. ඒ වගේම මට කියවන්න නොලැබුණු බ්ලොග් කීපයක් ගැනත් දැනගන්න ලැබුණා. ඒක ගැනත් සතුටුයි

  35. I’m just gonna take this opportunity to say, Mr. Taboo, that yours is easily my favourite blog in the whole Sri Lankan blogosphere – regardless of language differences. There have been times where I couldn’t quite agree with you on some of your more controversial views (actually, I do find myself disagreeing with you more often than not), but I’ve been following your work for a long time now, and I have to say, I’ve enjoyed every single one of your posts to date. Good job!

    Thank you for the words. :)

  36. නිදහස් අදහස් said

    අසාධාරණ වුනත් මගෙනුත් ඉල්ලීමක්/ මගෙ අඩවිය ගැන මොකද හිතන්ෙ . හැබැයි මේ අවුරුද්දෙ ලියවුනෙ නැති තරම්.

    http://nidhahasa.wordpress.com/

    • Taboo said

      @නිදහස් අදහස්,

      2010 ජූනි 30දායින් පසු පෝස්ට් නොකරන ලද අඩවි නොසලකා හැර ඇති බව ඉහත සඳහන් කළෙමි.

      මම ඔබේ බ්ලොග් එකේ දීර්ඝ කාලීන පාඨකයෙක්මි. සිංහල බ්ලොග්කරණයේ ප්‍රාරම්භක අවදියේදී ඔබේ සම්මාදම අතිශයින් වැදගත්ය. ඔබ නැවත බ්ලොග්කරණයට පිවිසෙන්නේ නම් මම සතුවු වෙමි.

      - Taboo

      • නිදහස් අදහස් said

        ස්තූතියි. ආයෙ ලියන්න දිරි ගැන්වීමක් ලැබුණා. :)

  37. නාමල් රාජපක්ෂ said

    මේ ටැබූ පොරක් වෙන්න දරණ තව උත්සාහයක් විතරයි. මෙතැන කිසිම කෙනකුට ඇගයීමක් කරල නෑ. නිකං පුම්බල උස්සල තියෙනව මිසක්. අපේ අයියලත් ඉතින් තොප්පිය දාගන්නව දැකපු හැටියෙම. දාගෙන හිතනම මං තමයි මාර්ටින් වික්‍රමසිංහ කියල. පව්.

    ටැබූ මෙතන කරල තියෙන්නෙ මේකයි.

    1. තමන්ට තර්ජනයක් වගේ පේන ජනප්‍රිය බ්ලොග් සම්පූර්ණයෙන් අමතක කරනව (උදාහරණ; Beyond Frame, රාමචන්ද්‍රගෙ අඩවිය, ඇට මැස්සා, ගෝරා)

    2. නොසලකා හරීන බැරි හොඳ බ්ලොග් වලට දානව කිණ්ඩියක්. (කතන්දර, අරුණි ශපිරෝ, දුකා)

    3. තමන්ට කවදාවත් තර්ජනයක් වෙන්නෙ නැති පුස් බට්ටො ටිකක් පුම්බල උඩට ගන්නව. (මාරයගෙ හෝරාව, ගැමියා, කෙහෙල් කොටුවේ මොකාද එකා, බ්ලොග් ගඩොල්) මොකද මුන් එකෙක් වත් ටැබූ ලියන මාතෘකා ලියන එවුන් නෙවෙයි. උන්ට වෙන මඟුලක් ලියා ගන්නත් බෑ. ඉතින් ටැබූට තර්ජනයක් නෑ.

    4. මැරිච්චි මිනිස්සුන්ගෙන් ඉතින් කොහොමටවත් තර්ජනයක් නෑනෙ. කුමුදු පින්තුව ඉතින් පුම්බනව ඇති වෙන්න. මොන සොමිද?

    5. පෙරමුණේ රාලයි පැරායි වලියක් දායි කියල උන්ටත් දෙනව කොටසක්. දැන් උනුත් ෂේප්.

    මුලින්ම ටැබූගෙ ගේම් එක තේරුම් ගන්න. ඇන්දුවට ඇඳගන්න එපා මේ වගේ.

    • බ්ලොග් ගඩොල් ලියන්නේනම් පූස් බට්ටෙකි.ඌ පුස් බට්ටෙක්ද නැද්ද කියා බ්ලොග් පාඨකයන් තීරණය කරනු ඇත.:D

      කෙසේවුවත් බ්ලොග්අවකාශයේ විවිධත්වයක් ඇතිවීමට නාමල් වැනි සීරියස් ඩයල් බ්ලොග්කරුවන් සේම අප වැනි so called පුස් බට්ටන්ද සිටිය යුතුයැයි සිතමි.

      diversity makes the beauty :P

    • පද්දා said

      මේ ඇවිල්ල ඉන්නේ බයෙන්ද ප්‍රේමෙගේ ලොල්ලා

      • chathura said

        “පෙරමුණේ රාලයි පැරායි වලියක් දායි කියල උන්ටත් දෙනව කොටසක්. දැන් උනුත් ෂේප්.”

        your tax rupees at work :P

  38. Anonymous said

    අපිනම් කාගෙන්වත් සම්මාන බලාපොරොත්තුවෙන් බ්ලොග් ලියන්නෙ නෑ ටැබූට කමෙන්ට්ස් දාපු අයගෙ බ්ලොග් ටිකට සම්මාන දීල මේක හරි විහිලූවක්

  39. වැඩේනම් එලම එල…..
    සුදුස්සාට සුදුසුම තැන පිරිනැමූ පළවෙනිම අවස්ථාවද මන්ද…..

    නොදැන සිටි බ්ලොග් අඩවි කිහිපයක්ම අදුනාගන්නත් ලැබුණා….බොහෝමත්ම ස්තූතියි….

  40. Anonymous said

    කෙටියෙන්ම කියනවා නම් ලියන්නන්ට එනජයිසරයක් වූ ඔබේ ප්‍රයත්නය අති විශිෂ්ටයි!!!

  41. sinhalamag said

    ගොන් මීහරක් සිරි සගබෝධියට මොකක්ද වුනේ ?මං හිතන්නේ සින්ඩි වලිනුත් අයින් කොරල වගේ. ඔන්න ඕකා දැන් දිගට හරහට ගහන්න පටන් අරන්.

  42. ටෑබූ වෙත, මනුස්සකම නමින් යම් සුනකයෙක් ඉහත් අදහස් පලකර ඇති බව අද දින ඔබගේ ලිපිය කියවීමේ දී දැක ගැනීමට හැකිවිය කරුණාකර එම අදස් මකාදමන්නේ නම් එය මා අගය කොට සලකමි මේ පිළිබඳව මා ඔබ වෙත් පෞද්ගලිකව ඉල්ලීමක් කිරීමටද කැමැත්තෙමි

    ටැබූගේ මතය හරි මොකද එය පෞද්ගලික මතයක් නිසා එක් එක් පුද්ගලයාගේ රස විඳීමේ හැකියාව වෙනස් බව සියලු දෙන‍ා තේරුම් ගත යුතුයි- මනුස්සකම අඩවිය

  43. [...] ගාලා ගිහින් බලද්දී තමයි දැක්කේ ටැබූගේ 2010 වසරේ හොඳම බ්ලොග් ලැයිස්තුවේ සංචාරකයගේ බ්ලොග් සටහනටත් පුංචි [...]

  44. Paradox said

    /*තමන්ට තර්ජනයක් වගේ පේන ජනප්‍රිය බ්ලොග් සම්පූර්ණයෙන් අමතක කරනව (උදාහරණ; Beyond Frame, රාමචන්ද්‍රගෙ අඩවිය, ඇට මැස්සා, ගෝරා)*/

    දේශපාලන /සමාජ බ්ලොග් ඇගැයීම අසීරු, විවාදාපන්න කාරණාවකි. සිංහල බ්ලොගාවකාශයෙහි දේශපාලන බ්ලොග් බහුතරය (ඔවුන් කිසිදින පිළි නොගත්තද) යම් නිශ්චිත දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිති. මින් එකකට ‘හොඳයි’ කීම අදාළ දේශපාලන පක්ෂයේ දර්ශනය පිළිගැනීමකි. එනිසා පක්ෂපාතීය හැඟුණු සියළු බ්ලොග් ඇගැයීමෙන් ඉවත් කරන ලදී.

  45. rachiyo said

    W3Lanka දේශපාලන කැටගරියෙන් කෙදිනකවත් උඩට ආ නොහැක. මෙලෝ රහක් නැති ඕපාදූප ගොඩකි. ඒක ගැන හිතුවානම් හොඳයි. ඔබ තුමා එජාප විරෝධී නිසා සදාහරිත දෙස නොබැලුවත්, සැලකිය යුතු මට්ටමේ වෙනත් පක්ෂ වලට ගැති හෝ ගැති නැති දේශාපාලන බ්ලොග් ප්‍රමාණයක් ඇත. සාපේක්ෂව හොඳ තේරීම් ගොඩක් ඇත.

  46. මේ තේරීම් නිත්ය සිංහල බ්ලොග් කියවන්නෙකු (මාස හතර පහක සිට..) ලෙස මාගේ තේරීම් බොහොමයක් හා එකඟය…
    පාඨක ඤාණ පරාසය පුළුල් කිරීම වෙනුවෙන් තේරීමේදි ටැබූ අතින් http://ingirisi.blogspot.com ඉංග්‍රීසි බ්ලොග් අඩවිය සලකා බැලීමකට ලක් වුනාදැයි නොදනිමි…

    දේශපාලන බ්ලොග් අතරින් තවමත් බියොන්ඩ් ෆ්‍රේම් ඉදිරියෙන් සිටින අඩවියක් බැව් මාගේ හැඟීමයි..

    කාන්තා බ්ලොග්කරණය සැලකීමේදී බ්ලොගීගේ ඩයරිය http://bloggysdiary.blogspot.com/ ඉතා අඩු පෝස්ට් ගනණක් සහිතව වුවද ඉහළ තත්වයකින් යුත් අඩවියක් ලෙස සැලකිය හැක…

  47. Panda said

    බ්ලොග් අවකාශෙට අලුත් නිසා ඔක්කොම බ්ලොග් දන්නෙ නැ…ඒත් මම දන්න බ්ලොග් වලට දීල තියෙන ස්ථාන සාධාරණයි කියල කියන්න පුලුවන්..හොඳ වැඩක්… කට්ටියට පුන්චි තැග්ගකුත් දුන්න නං අපුරුයි ;-) ලෙක්චර්ස් ල ගෙ පඩිත් වැඩි කරපු එකෙ ආණ්ඩුවෙන්..

  48. විමර්ශක said

    මම දන්න විදිහට අරුණි ශපීරෝ‍ බ්ලොග් කරණයේ යෙදී සිටින්නේ ඇමරිකාවේ ඉඳලයි. ඒ කියන්නෙ ඔබගේ වර්ග කිරීමට අනුව ඇයගේ බ්ලොගයත් “දියස්පෝරික” කැටගරියට වැටෙන්න ඕනෙ. ඒත් දියස්පෝරික කැටගරියේ ඇයගේ බ්ලොගයට 1,2,3 අතරට පැමිනීමට හැකියාවක් නොලැබුනේ ඔබ මේ කැටගරියේ ඇගයූ බ්ලොග් අඩවි ඇයගේ බ්ලොගයට වඩා සුවිශේෂ නිසාද ? මොකක්ද ඔබගේ මිනුම් දණ්ඬ ? මෙය සාධාරණීය කරන්නේ කොහොමද ?

  49. මේ දැනෙන්නේ ආශ්චර්යමත් දේවල් බලාපොරොත්තුවෙන් භයානක තැනක වසරකට වැඩි කාලයක් ගත කරපු එකේ සතුට. කවමකවදාවත් අපේ පංතියේ ගුරුවරයකුට සම්මාන සුම්මා මේ ගෙන්දගම් පොලවේ. මං වැඩියෙන්ම සතුටු වෙන්නේ ටැබූ දිහා ළමයින්ට පෙන්නගෙන උන්ටත් උගන්නගෙන ලියන්න ගත්ත ගමන අද ටැබූම අගය කරණ තැනට ඇවිත්.විදපු දුක් දැං මේමොහොතේ ඉදං පැනි රසයි වගේ.

    ගොඩක්ම ස්තූතියි ටැබූ. සමහර විට මේ පටන් ගන්න වසරේ අරුණ සර්ට පරිගණක විද්‍යාගාරයෙන් මාරුවක් හෝ පරිගණක ගෑවිලාවත් නැති ඉස්කොලයක් හම්බ වෙන්න පුළුවන්.හැමදාම වගේ ඔබෙන් ලැබූ පන්නරය එදාටත් ළමයි එක්ක මාවත් ජීවත් කරයි.

    • අරුණ සර්

      මාරුවෙන්නේ කැමැත්තෙන්ද? එහෙම නැත්තම්…..

      • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාරවාදී ජනරජයේ සේවකයන් විසින් තමංගේ ආයතනයේ ඉහල නිලධාරීන් අපහසුතාවයට පත් කරන කිසිදු අන්දමේ ප්‍රකාශයක් කිරීම ආයතන සංග්‍රහය අනුව බරපතල වරදකි.

  50. Pabalu said

    නොදැන හිටි සමහර හොද බ්ලොග් අඩවි ගැන දැනගන්න පුලුවන් වුනා.ස්තුතියි ටැබූ

  51. Charmi said

    වැප් ගේ ලිපියේ යෝජනා දැකලා මතක් උනේ.
    http://wapnishantha.blogspot.com/2010/11/blog-post.html
    වසරේ පාඨක සම්මානය – [ බ්ලොග් අවකාශයේ සැරිසරමින් රචකයන් උනන්දු කල පාඨකයා]
    මේක නම් කදිම යෝජනාවක්.

    2010 වසරේදී නම් මගේ නිර්දේශය
    Shadow/හේමලයා.
    බොහෝදෙනා එකඟ වේවි.

  52. ආහ්. මගේ බ්ලොග් පොඩ්ඩටත් සම්මානයක් ලැබිලා තියෙන්නේ. බොහොම ස්තූතියි ටැබූ! ඒක ලොකු දිරිගැන්වීමක් ඇත්තටම.

    ඔබගේ අවසාන විනිශ්චයට නම් මමත් එකඟයි. ‘ගැමියා’, ‘මාරයාගේ හෝරාව’ සහ බුද්ධි ගේ ‘සයිබර් යාය’ කියන්නේ මගෙත් ප්‍රියතම බ්ලොග් අඩවි තුනක්. ඒ වගේම සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයින් වන ‘කතන්දර’ සහ ‘දුකා’ ට අමතරව ‘දුමී ගේ කටකහන් කතා’වලටයි, පූසන්ගේ ‘බ්ලොග් ගඩොල’ටයි සම්මාන හිමිවීම ගැන සතුටුයි. මේවා සියල්ලම ඉතාම සුවිශේෂී බ්ලොග් අඩවි. මගේ බ්ලොග් පඩංගුවත් එක්ක බැලුවම ඒවා තියෙන්නේ අහසටත් උඩින්. ඒ අය හැම දෙනාම කිසිම ඇගයීමක් නැතුව ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන බ්ලොග් කලාව ගැන මෙසේ හෝ ඇගයීම ඉතා වටිනවා..

    ගූගල් ඇඩ් දාලා සල්ලි හොයාගැනීමේ ක්‍රමයක් විදියට විතරක් කරගෙන යන එක එක ඕප දූප බ්ලොග් වැහි වැහැලා තියෙන අතරේ, මේ වාගේ සැබෑ කැපවීමකින් බ්ලොග් කරන අයට ඇගයීමක් ලබා දීම ඔවුන් දිරි ගැන්වීමක්.

    ඔබේ තීරණ ගැන සහ මෙහෙම ඇගයීම් කරපු එක ගැන එක එක අයට විවිධ මත තියෙන්න පුළුවන්, නමුත් සමස්ථයක් විදියට ගත්තම, ඔය කොමෙන්ට් කරන කවුරුත් නොකරපු දෙයක් ඔබ කරලා තියෙනවා. ඒ ඔබේ විනිශ්චයට අනුව හොඳයි කියලා හිතෙන බ්ලොග් තේරීම සහ අප හැමටම වඩා කියවන්නන් විශාල ප්‍රමාණයක් සිටින ඔබේ අඩවියේ ඒ බ්ලොග් කරුවන් හඳුන්වාදීලා ලින්ක් එකක් දීම.

    සල්ලි හොයන්න නොව සැබෑ ආසාවකින් සහ උනන්දුවකින් බොලොග් ලියන අය වෙනුවෙන් නැවතත් මගේ ස්තූතිය !! මීළඟ අවුරුද්දේ මට හිමිවෙච්ච තැන වෙන අලුත් කාට හරි ලැබේවියි කියලා පතනවා, ඒකෙන් ඒ කෙනාටත් දිරි ගැන්වීමක් ලැබනවානේ.

  53. හොඳ අදහසක්… චාමිගේ නිර්දේශයට මගෙත් ඡන්දය…

  54. මගේ බ්ලොග් අඩවිය ඇඟයීම ගැන හද පත්ලෙන්ම ඔබතුමාට ස්තූතිවන්ත වෙමි . මම මේ බොලොග් අඩවිය ආරම්භ කර ඒතරම් කාලයක් ගත උනේ නැති නිසා වැඩි පුර අද්දැකීම් මට තවම නෑ ඔබ මට ලබා දුන් මේ ඇගයීම මම මැරෙන තුරාවට අමතක නොකරන බවට පොරොන්දුවෙනවා .

    මම “සඳරු” මගේ බ්ලොග් එක ඇඟයීමෙන් මා දිරිමත් කල ඔබතුමාට මාගේ හද පිරී ප්‍රනාමය පුදකල වගයි !

  55. හොඳම සාමාජීය / දේශපාලන බ්ලොග්කරණය වෙනුවෙන් පුලස්තිගේ සටහනට(http://pulasthigetheeruwa.blogspot.com/) සම්මානයක් සුදුසුයි කියලා හිතනවා. සම්මාන කියලා උත්සව නොතිබ්බත් මේ වැඩෙන් හොඳ බ්ලොග් වලට තවත් පාඨකයින් එකතු වීමම ලොකු දෙයක්.

  56. අමිල said

    කුමුදුලාල් පිංතු ​වැනි ශ්‍රේෂ්ඨයන් ඇසුරු කිරීමට තරම් පිංවත් කමක් අපට නැති වීමට කනගාටුවකි. නමුත් ඔහුගේ දැනුම අප සැමට බෙදාදීම ගැන සදා කෘතවේදීවන්නෙමි.

  57. sujeewa said

    හොඳම ශාස්ත්‍රීය බ්ලොග හෂිත ගේ රසවතියයි මට සිතේ. එවැනි කැටගරියක් ඇවැසි බව ද කියන්න කැමතියි.

  58. ijtstruth said

    පිංතු සර් ව මතක ති​යන එක ලොකු දෙයක්. එතුමාගේ දර්ශණය නැවත ගොඩගන්න පුලවන්ද කියලා හොයල බලනවා…

  59. ඕං සමනලී මේ පොස්ට් එක දැක්කේ සෑහෙන ප්‍රමාද වෙලා :( කලට වේලාවට දකින්න විදියක් තිබුනැයි ඉතින් සමනලීට කකුල කඩාගෙන ඈදක් උඩට වෙලා ඉන්න සිද්ධ වේච්චි. (තාමත් එහෙම්ම තමයි ඉන්නේ) මේ තියෙන බ්ලොග් සටහන් ගොඩාක් සමනලීත් හරිම ආසාවෙන් කියවපු ඒවා. සතුටුයි ඒවා නිසි ඈගැයීමකට ලක් වීම ගැන :-)

  60. ඔබතුමාගේ මේ අගය කිරීම ගැන බොහොමත්ම නිහතමානීව සතුටු වෙනවා. පසුගිය දිනවල බොහො සෙයින් කාර්ය බහුලව සිටි නිසා බ්ලොග් කියවන්නටවත් පෝස්ටයක් ලියන්නටත් හැකිවුණේ නැහැ. ඒ නිසාම මට මගහැරී තිබුණු මේ ගැන මා දැනුවත් කළ මණ්දාකිනිය බ්ලොගය ලියන nimanthi අක්කාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

    ඔබ නිස්සා නිසි තැන තබා ඇත. මාරයාගේ හෝරාව ලියන මාරයියා වගේම බුද්ධි අයියා, දුකා අයියා, කතන්දර, වත් අක්කා, වැම්පා, අභීත අයියා, බිඟු අයියා ඇතුළු සයිබර් අවකාශයේ සහෟදයන් සැමදෙනාටම සුබපතනන්නට මමත් එක් වෙනවා.

    මගේ පෞද්ගලික මතයට අනුව මේ බ්ලොග් අඩවි කිහිපයත් සලකා බැලීමකට ලක්වූයේ නම් වටි.

    හද ගී පොත
    අතීතයෙන් අහුලන මතකයන්….
    චේජනාගේ පි‍ටුව (Chejana’s web page)
    මණ්දාකිනිය
    නිදහස් සිතිවිලි
    අතිතයෙන් ගඟ ගලා…. බසි…..

    ඔබට බොහොමත්ම ස්තූතියි !

Leave a Comment

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>