පොල්ල ගැනීමට පෙර බල්ලන් හඳුනා ගනිමු

 
 

ඉන්ධනවලට සහන රැසක්!

 
 

රනිල්ගේ ඇමෙරිකානු හඬ

 
 

රටේ නිදහස වෙනුවෙන් ජනමතය ගොඩ නැඟූ ඩී.ආර්. විජයවර්ධන

 
 

මේ සතියේ සිට ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලැබෙනවා

 
 

‘අරාබි වසන්තය’

 
 

සිනා කතා

 
 

එළවළු වවා ගමට බෙදන සද්ධානන්ද හාමුදුරුවෝ

 
 

අතීතයේ ගිනිදලු සවුන්දරම්මාගේ හද පතුලේ යළි ඇවිළෙයි

 
 

චෙරි බ්ලොසම් ශ්‍රී ලංකාවේ

 
 

ටිකිරි හමුව

 
 

විශාදයට හොඳම ඔසුව ව්‍යායාම

 

»
»
»
»
»
»
»
»
»
පාර්ලිමේන්තුවට ආභරණයක් වූ ආචාර්ය රිචර්ඩ් පතිරණ

පාර්ලිමේන්තුවට ආභරණයක් වූ ආචාර්ය රිචර්ඩ් පතිරණ

(දිවංගත ආචාර්ය රිචර්ඩ් පතිරණ මැතිඳුන් ගේ සැත්තෑ සතර වන ජන්ම දින සමරුව පෙබරවාරි මස 24 වන දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

අසූව දශකයේ සිට අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ මෙන් ම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ද නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද අමාත්‍යවරයකු හා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හෙබවීමේ වාසනාව ලද ආචාර්ය රිචර්ඩ් පතිරණ මැතිතුමා මාඉටිපේ විජයරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ද ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ද ලැබීය. එතුමා ඉන් අනතුරුව බලපිටිය රජයේ ගුරු විද්‍යාලයෙන් ගුරු පුහුණුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගත්තේ ය.

විජිතා පතිරගේ මහත්මිය සමඟ අතිනත ගත් රිචර්ඩ් පතිරණ මහතා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රමේෂ් ඉරෝමි සහ දිනූෂා දූ පුතුන්ගේ දයාබර පියාණන්ය.

1959 වර්ෂයේදී ගා/ නරාවල විද්‍යාලයේ උපගුරුවරයකු වශයෙන් ජීවන වෘත්තිය ඇරඹූ එතුමා 1971 වසරේ දී විදුහල්පතිවරයෙකු වශයෙන් උසස්වීමක් ලැබුවේ ය. 1983 වසර තෙක් විදුහල්පති වශයෙන් විදුහල් කිහිපයක් ම කටයුතු කළ පතිරණ මහතා එම විදුහල්වල දරු දැරියන්ගේ විනය රැකීමට හා දියුණුව සලසා දීම සඳහා බොහෝ සෙයින් කැපවිණි. 1980 දී දේශපාලන පලිගැනීමක් මත සිදුවූ ගුරු මාරුවක් හේතුවෙන් ගුරු වෘත්තිය තුළ නියැළෙමින් සිටියදී ම දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණව අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ලැබීය. 1982 දී මෙරට පැවැති පළමු ජනමත විචාරණයෙන් රජය පරාජය වූ ආසන වෙනුවෙන් පවත්වන ලද අතුරු මැතිවරණයේදී අක්මීමන ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කළ රිචර්ඩ් පතිරණ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. දැවැන්ත ආණ්ඩු පක්ෂයකට මුහුණ දෙන සුළුතර විපක්ෂයක අසුන් ගත් එතුමා සිය වාග් චාතුර්යය මොනවට ප්‍රදර්ශනය කළේ ය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හිසරදයක් ගෙන දෙන කථකයෙක් බවට පත් වෙමින් විපක්ෂයේ වගකීම මැනවින් ඉටු කිරීමට එතුමා සමත් විය. පුරා වසර 16 ක් අක්මීමන ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමට එතුමා ජනතා සිත් සතන් දිනාගෙන තිබිණ. 1988 වර්ෂයේ පළමු වන වරට පැවැති අනුපාත ඡන්ද ක්‍රමය යටතේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ එතුමා සමඟ වාද ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට නොහැකි විය. එවක රජයට විරුද්ධව පැවැති පාද යාත්‍රාවට එතුමා දැක්වූ සහයෝගය විපක්ෂයේ පිබිදීමට බෙහෙවින් බලපෑවේ ය. 1989 සිට 1994 දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පත් කරන ලද රිචර්ඩ් පතිරණ මහතා පොදුජන එක්සත් පෙරමුණ රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙන් ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ද කටයුතු කෙළේ ය.

2000 ඔක්තෝබර් සිට 2001 දක්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර ම පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හෙබවීමේ වාසනාව ද එතුමාට හිමිවිණි.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඍජු රාජ්‍ය ආයෝජනය රුපියල් බිලියන 17 සිට 34 දක්වා සියයට 100 කින් වැඩි කිරීම විශ්වවිද්‍යාල සංඛ්‍යාව 12 දක්වා ඉහළ නැංවීම, විශ්වවිද්‍යාල සඳහා වසරකට ඇතුළත් කර ගත් ශිෂ්‍ය පිරිස 8500 සිට 12000 දක්වා වැඩි කිරීම, විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන් ඇතුළත් වීම සඳහා ගත කළ කාලය අවම කිරීම, උසස් පෙළ සඳහා නව තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වා දීම, රුහුණු විශ්වවිද්‍යාලයට අඩුවක්ව පැවැති ඉංජිනේරු පීඨය ගාල්ලේ හපුගල පිහිටුවීම වැනි කාර්ය භාරයක් ඉටු කළේ ය.

එම කාල සීමාව තුළ ජාතික පාසල් සංඛ්‍යාව 317 දක්වා වැඩි කිරීමටත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වාර්ෂිකව සමත් වන ශිෂ්‍ය පිරිස වර්ධනය කිරීමටත් එම වර්ධනය මත උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ පතිරණ මහතා විශ්වවිද්‍යාලයන්හි නේවාසික පහසුකම් වැඩි කිරීම සඳහාත්, පහ වසර හා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රමාණයන් වැඩි කිරීම සඳහාත් පාසල් උපකරණ සැපයීම මවුපියන්ට නොපවරා රජය මගින් සැපයීම සඳහාත් අධ්‍යාපන පීඨ 5 ක් හා ගුරු මධ්‍යස්ථාන 84 ක් අලුතින් ඇති කිරීම සඳහාත් පියවර ගත්තේ ය.

ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටුවීම, ගුරු වැටුප් සියයට 75 සිට සියයට 200 දක්වා වැඩි කිරීම, විදුහල්පති සේවාව පිහිටුවීම, පිරිවෙන් ගුරු සේවය ආරම්භ කිරීම, විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ප්‍රථම වතාවට විදේශ අධ්‍යාපන චාරිකා සඳහා අවස්ථාව ලබාදීම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා බ්‍රිතාන්‍ය විදේශීය සංවර්ධන ආයතන යන ත්‍රිත්වයේ ආධාරයෙන් ගුරු භවතුන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ලබාදීමේ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම වැනි දේ කැපී පෙනෙයි. විදුහල්පතිවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ප්‍රථම වතාවට ලබාදීමට එතුමා ගත් පියවර සම්බන්ධව විදුහල්පතිවරුන්ගේ ප්‍රණාමය එතුමාට පිරිනැමෙනු ඇත.

එක්සත් රාජධානියේ ආධාර යටතේ ප්‍රාථමික පන්ති තුළ ද ඉංග්‍රීසි භාෂාව විධිමත් ව ඉගැන්වීමේ වැඩසටහනක් අරඹා පාසල් නොයවන ළමයින් පාසල්වලට යොමු කරවීම සඳහා රෙගුලාසි පැනවීමට ද පියවර ගනිමින් වතු පාසල් නඟා සිටුවීමට ද විවිධ ක්‍රියා මාර්ග යෙදුවේ ය.

ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කළේ අමිල මෙහෙවරකි. අලුතෙන් ආරම්භ කළ ලබුදූව සිරිධම්ම විද්‍යාලය ඉන් ප්‍රධාන තැනක් ගනී. ප්‍රදේශයේ සියලු පාසල්වලට භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර දුන් එතුමා රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, බහු තාක්ෂණික ආයතනය, අධ්‍යාපන විද්‍යා පීඨය, ගාල්ල දිස්ත්‍රික් පරිපාලන ගොඩනැඟිල්ල, වක්වැල්ල පාලම හා ප්‍රදේශයේ මං මාවත් වැඩිදියුණු කිරීම වැනි දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළේ ය.

රෝගී තත්ත්වය මධ්‍යයේ වුව ද ඔහු තුළ පැවැති දේශපාලන පරිණත භාවය ඇගැයූ ජනාධිපතිතුමා අධ්‍යාපන කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක තනතුරක් එතුමාට පිරිනැමීය. ජනතා සේවය සඳහාම නියැළුණු එම යුග පුරුෂයා වසර 72 ක් ආයු විඳ 2008 ජූලි මස තුන් වැනි දින සඳහටම දෙනෙත් පියා ගත්තේ ය.

ගුරුවරයකු, විදුහල්පතිවරයකු මෙන් ම ඇමැතිවරයෙකු ලෙස ද අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටු කළා පමණක් නොව පොදු මහ ජනතාවගේ හිත සුව පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිසත්, සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් පාර්ලිමේන්තුව ශෝභාවත් කළ ආචාර්ය රිචර්ඩ් පතිරණ මැතිතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.