සංස්‌කරණය : නාරද නිශ්ශංක

සුද්දන් වගා කළ කලා කෙත

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙරට කලා ක්‌ෂේත්‍රයට හා වෙනත් වෘත්තීය ක්‌ෂේත්‍ර රාශියකට කීර්තිමත් පුරවැසියන් දායාද කළ ආයතනයකි. ප්‍රවීණ සාහිත්‍යවේදීන් කෘතහස්‌ත රංගන ශිල්පීන්, නාට්‍ය අධ්‍යක්‍ෂවරු මෙන්ම තවත් බොහෝ පිරිස්‌ ද ඒ අතර වෙති. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පීන් අතරින් අපට එදා මෙදා තුර හමුවන මේ සුවිශේෂී පුද්ගලයන් පිළිබඳව ලියෑවුණු කෘතියක්‌ ඉකුත් සතියේ "දිවයින සිනමා කලා" සංග්‍රහය වෙත ලැබිණි. මේ එම දෙපාර්තමේන්තුවෙන්ම බිහිවූ එදා සම්මානයට පාත්‍ර වූ වේදිකා නාට්‍ය කිහිපයක්‌ නිර්මාණය කළ හා සාහිත්‍ය කෘති රැසක්‌ ලියූ ප්‍රවීණ ලේඛක ප්‍රාම් දෙල්දෙනිය එම කෘතිය පිළිබඳ ලියූ සටහනකි.

කලාකරුවන් රැසකගේ ඉතිහාසය සනිටුහන් කරන්නා වූද, බ්‍රිතාන්‍යයන් ලංකාවේ ආරම්භ කළ එසේම පැරැණි හා ප්‍රථම දෙපාර්තමේන්තුව ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉතිහාසගත වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවා ආරම්භ කරන ලද්දේ ඊට වසර අනූවකට පමණ පසු 1890 දීය. 1800 අගෝස්‌තු දෙවැනි දින ගාල්ලේ දී ආරම්භ කළ මෙම දෙපාර්තමේන්තුවේ මුල්ම සර්වේයර් ජනරාල් වූයේ ඡේ. ජොන්විල් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයාය. බ්‍රිතාන්‍යයන් 21 දෙනකුට පසු පළමු සිංහල ජාතික මැනුම්පති වූයේ 1954 පත්වූ ඇන්. ඇස්‌. පෙරේරා මහතාය. ඔහු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහෝදරයාගේ සොහොයුරාද වේ.

මැනුම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය සඳහන් කළේ එහි මැනුම් සැලසුම් ශිල්පීන් ලෙස සේවය කර විශ්‍රාම ගිය නිලධාරීන් විසින් පිහිටුවා ගන්නා ලද "විශ්‍රාමික සිතියම්ගත කිරීමේ සැලසුම් ශිල්පීන්ගේ සංගමය" මගින් ප්‍රකාශයට පත්කරන ලද විවිධ කුසලතා පෙන්වූ "අපේම ඇත්තෝ" නමැති ග්‍රන්ථය හඳුන්වාදීමටය. එම ග්‍රන්ථයේ ඡායාරූප සහිතව විස්‌තර වන නිලධාරීන් සියලුම පාඨකයන් හා ප්‍රේක්‍ෂකයන් හඳුනන ඇත්තෝය. එකල මෙන් අද ද ලංකාවේ කිසිම දෙපාර්තමේන්තුවක හෝ සංස්‌ථාවක හෝ පෞද්ගලික ආයතනයක කලාකරුවන් දෙතුන් දෙනකුට වඩා දැකගත නොහැකිය.

හෙන්රි ජයසේනයන්ගේ සියලුම නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑ අය වන මර්වින් ජයතුංග, සැන්ටින් ගුණවර්ධන, ප්‍රිව්ස්‌රෝයි ද මෙල්, නිමල් ජයසිංහ ආදීන් මෙන්ම පියරත්න ජයසිරි හා ආනන්ද ලියනගේ ද මැනුම් සැලසුම් ශිල්පීන් වේ. "ටෙලි නාට්‍ය" යන නමද හඳුන්වා දෙමින් රූපවාහිනියේ ප්‍රථමවරට කොටස්‌ වශයෙන් ප්‍රචාරය වූ "පළිඟු මැණිකේ" හා "මිහිකතගේ දරුවෝ" නාට්‍ය නිෂ්පාදකයා වූයේ 1970 වසරේ එයට සම්බන්ධ වූ ධම්ම ජාගොඩ නමැති සැලසුම් ශිල්පියා වේ. ඔහු වේදිකා නාට්‍ය හා චිත්‍රපට නළුවෙක්‌ පමණක්‌ නොව "ලයනල් වෙන්ඩ්ට්‌ රංග ශිල්ප ශාලිකාවේ" ප්‍රධානියා ද විය. රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු තවත් බොහෝ නළු නිළියන් රංග ශිල්පය හැදෑරුවේ ධම්මගේ මඟපෙන්වීම ආධාරයෙනි.

මේ කාලයේ දී ද ජනප්‍රිය නළුවන් වන රොඩ්නි වර්ණකුල, බුද්ධි වික්‍රම, ඔස්‌ටින් සමරවික්‍රම වැනි අයද මේ විශ්‍රාමික සැලසුම් ශිල්පීන් බව සඳහන් කළ යුතුය. සැලසුම් ශිල්පියකු වන ප්‍රාම් දෙල්දෙණිය විසින් පරිවර්තනය කර 1965 වසරේ රාජ්‍ය නාට්‍ය උත්සවයට නිෂ්පාදනය කර සම්මාන ලබාගත් "ගරා වැටුණු ජීවිත" සැලසුම් ශිල්පියෙකු වන චන්ද්‍රසිරි දෙනිපිටිය හා දැනට ජීවතුන් අතර නැති බර්ටි කිරිදෙනටද, සිරි ගුණසිංහ ශූරීන්ගේ "සත් සමුදුර" චිත්‍රපටයේද මොහු රඟපෑ බව මෙහිලා සඳහන් කළ යුතුය.

ඒ. හෙට්‌ටිආරච්චි හා රංජිත් පීරිස්‌ ද "කඳවුරු පරීක්‍ෂණයක්‌" නමැති නාට්‍යයේ රඟපෑ සැලසුම් ශිල්පීන් වන අතර දැනට ජීවතුන් අතර නැති පී. බී. මයිලෑවද චිත්‍රපට හා වේදිකා නළුවෙකි. මේ දිනවල කැනඩාවේ වාසය කරන තිලක්‌ අබේසිංහ සම්මානලාභී මූර්ති ශිල්පියෙකි. මිලාන් සරසවියේ උපාධිධරයකු වන ඔහු විවිධ රටවල ප්‍රදර්ශන පවත්වා තිබේ. වේදිකා නළුවෙක්‌ වන හෙක්‌ටර් රූපසිංහ "කැකිල්ලේ රඡ්ජුරුවෝ" හා "සාගලී" යන නාට්‍යය සංගීතය එක්‌ කරගෙන නිෂ්පාදනය කර ඇත.

සුගතපාල සෙනරත් යාපා හා ජී. ඩී. එල්. පෙරේරා ආදීන්ගේ චිත්‍රපට හා නාට්‍යවල කලා කටයුතු ද දෙපාර්තමේන්තුවේ හා එහි ලේඛකයන්ගේ පොත්වල පිටකවර ආදියද ඇඳ දුන් ඩී. සී. කරුණාරත්න දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකි. ගුවන් විදුලියේ ජනප්‍රිය ගායකයන් වූ කැමිලස්‌ ඇන්ටන් පීරිස්‌ හා එඩ්මන්ඩ් වික්‍රමසේකර නාට්‍යවලද රඟපා ඇත. ඉරිදා "ටෛම්ස්‌" පත්‍රයේ කර්තෘ මණ්‌ඩලයේ සිටින ලෙනාද් මහාරච්චි හා "ඩේලි මිරර්" පත්‍රයේ කර්තෘ මණ්‌ඩලයේ සිටි මිලින්ද රාජසේකර ආදීන් හා පුවත්පත්වලට ලිපි සපයන ආර්. එල්. ලාල්ප්‍රේම ලොකුගේ හා අධිනීතිඥවරයකු වන සෝමපාල ඉගලහේවා දක්‍ෂ ලේඛකයන් වේ.

ඉංග්‍රීසි හා සිංහල පුවත්පත් හා සඟරාවලට ලිපි සපයමින්, නාට්‍ය රචනය, පරිවර්තනය හා නිෂ්පාදනය මෙන්ම නවකතා, කෙටිකතා කාව්‍ය ග්‍රන්ථ හා පරිවර්තන කෘතීන් ලියා මුද්‍රණය කිරීම ප්‍රාම් දෙල්දෙණියගේ විනෝදාංශයකි. ගුවන්විදුලි නාට්‍ය කොටස්‌ වශයෙන් සඟරා හා පුවත්පත්වල පළවූ නවකතා රචකයෙක්‌ මෙන්ම කෙටිකතා හා විද්‍යා ග්‍රන්ථ, සාහිත්‍ය විචාර, ළමා සාහිත්‍ය කෘතීන්, ඉංග්‍රීසි ග්‍රන්ථ, ගුණසේන ළමා ශබ්දකෝෂය ආදිය ලියා විවිධ සමාගම් හා රජයෙන් සම්මාන හයක්‌ ලබා ඇති ආර්. බී. අතපත්තුද සැලසුම් ශිල්පියෙකි. පුවත්පත් හා සඟරාවලට ලිපි සපයමින් පද්‍ය ග්‍රන්ථ, නවකතා හා පරිවර්තන ග්‍රන්ථ මුද්‍රණය කරමින් කොටස්‌ වශයෙන් සඟරා හා පුවත්පත්වල පළකිරීම සඳහා කතා ලිවීම රෝහණ කස්‌තුරි නම් විශ්‍රාමික සැලසුම් ශිල්පියාගේද විනෝදාංශයකි.

මේ අයුරින් ප්‍රේක්‍ෂකයන් හා පාඨකයන් සමග සම්බන්ධ වී සිටින කලාකරුවන් වන මැනුම් සැලසුම් ශිල්පීන් විශාල පිsරිසක්‌ පිළිබඳව මෙම ග්‍රන්ථයේ විස්‌තර පළකර ඇත.

ලලිත කලා ශිරොමනි ප්‍රාම් දෙල්දෙණිය

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.