ප්‍රථම වතාවට තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේ රිදී පදක්කම නාලන්දාවේ රකිඳු දිනා ගනී

  👤  3566 readers have read this article !
By mawbima 2017-04-26

දිගාමඩුල්ල _ හෂිනි සචින්තා ඉඳුවරි

සතියක් පුරා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා රිදී පදක්කම දිනාගෙන ඇත.
මේ සිසුවා පාරිසරික විද්‍යා අංශයෙන් ඉදිරිපත් කළ පරිසර තත්ත්වයන් නිසා ගස්වල පරාග මත තැන්පත් වන වායු දූෂක මඟින් ඇදුම රෝගය වඩා තීව්‍ර වන බවට කළ පර්යේෂණයට මෙම රිදී පදක්කම හිමිවිය.

මේ තරගයට සහභාගි වූ ළාබාලතම තරුණ විද්‍යාඥයා වන්නේද රකිඳුය. 2016 _ 2017 වසරේ දී ජාතික විද්‍යා පදනම මඟින් පැවැත්වූ හොඳම තරුණ විද්‍යාඥයා තේරීමේ තරගයෙන්ද ප්‍රථම ස්ථානය රකිඳු විසින් හිමිකර ගන්නා ලදී.
තරුණ විද්‍යාඥයන්ගේ සමුළුව 24 වැනි වතාවට මෙවර පැවැතියේ ජර්මනියේ වන අතර ලංකාවෙන් ඒ සඳහා තරගකරුවකු සහභාගි වී ඇත්තේ ප්‍රථම වතාවටය. මෙවර තරගය සඳහා රකිඳු වික්‍රමරත්න සමඟින් මන්නාරම සිත්ති විනයාගම් විද්‍යාලයේ 13 ශේ්‍රණියේ ජිනෙන්ද්‍රන් ජූඩ් සජිත් හෙක්ටර් යන සිසුවාද සහභාගි විය.
ජාත්‍යන්තර මහාචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් පසුගිය 16 වැනිදා සිට 21 දින දක්වා සතියක් පුරාවට මේ තරගය විනිශ්චය කරන ලදී. දකුණු ආසියාවෙන් මේ තරගය සඳහා සහභාගි වී ඇත්තේ ඉන්දියාව පමණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය සුධිරා රන්වල, විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක, පරීක්ෂණ නිලධාරිනි ශිරෝමි සිල්වා, වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශ ප්‍රධානී විපුලසේන, නැනෝ තාක්ෂණ
ආයතනයේ මහාචාර්ය නලින් ද සිල්වා, විද්‍යාඥ ඒ.ඩී.එම්. දමයන්ත, නාලන්දාවේ හිටපු විදුහල්පති රංජිත් ජයසුන්දර, පර්යේෂණ සංසදයේ ආචාරිනි උපේක්ෂා අබේසේකර, පන්තිභාර ආචාරිනි ප්‍රමිතා ගලප්පත්ති සහ නාලන්දාවේ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ ජයග්‍රහණය සඳහා රකිඳුට සහාය දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්