වැලිකඩ බන්ධනාගාර ගැටුම ගැන විශේෂ හෙළිදරව්වක්….

වැලිකඩ බන්ධනාගාර ගැටුම ගැන විශේෂ හෙළිදරව්වක්….

වැලිකඩ බන්ධනාගාර ගැටුම ගැන විශේෂ හෙළිදරව්වක්….

කර්තෘ Hashini De Mel

09 Nov, 2017 | 11:34 am

වැලිකඩ බන්ධනාගාර ගැටුම සැලසුම් සහගත එකක් බව වත්මන් රජය ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

එහි දැක්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්යය බලකාය යැවීමට උපදෙස් දී ඇත්තේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.

විශේෂ කාර්යය බලකාය බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුදැනුමකින් තොරව යැයි කමිටු වාර්තාවේ සඳහන් ය.

වාර්තාවේ සඳහන් පිරිදි විශේෂ කාර්යය බලකාය මෙලෙස ඇතුළු වී ඇත්තේ ගැටුම පාලනය කර ගැනීමට තම නිලධාරීන්ට හැකියාව ඇතැයි බන්ධනාගාර අධිකාරිවරයා දැනුම්දී තිබියදීයි.
2012 වසරේ අද වැනි දිනක බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙක් මිය ගිය අතර 20 දෙනෙක් තුවාල ලැබූහ.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිසීයේ කිහිපදෙනෙකුටත් එහිදී තුවාල සිදුවිය.

සිද්ධියෙන් අනතුරුව ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵල මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරුව, එවක පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වූ චන්ද්‍රසිරි ගජධීර මහතා සිද්ධිය විමර්ශනය කිරීමට, ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළේ ය.

ඒ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නීති නිලධාරි ලලිත් අන්ද්‍රාහැන්නදි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එම කමිටුවේ අතුරු වාර්තාව 2013 වසරේ පෙබරවාරි මාසයේදීත්, අවසන් වාර්තාව 2013 වසරේ නොවැම්බර් මාසයේදීත් ගජධීර අමාත්‍යවරයාට භාරදුන්න ද, එයට සිදුවුයේ කුමක් දැයි මෙතෙක් පැහැදිලි වී නොමැත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා විසින් 2015 වසරේ ජනවාරි 22 වන දා තවත් කමිටුවක් පත්කළේ ය.

පිටු 600 කට අධික කමිටු වාර්තාව 2015 වසරේ ජුනි 9 වන දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදුන්නේ ය.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට, විශ්‍රාමලත් පරිපාලන නිලධාරී, නීතිඥ එස් කේ ලියනගේ සහ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන මහත්වරු ඇතුළත් වූහ.

මෙම කමිටු වාර්තාවෙන් අනාවරණයවී තිබුණේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම, හඳුනාගත් පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බවයි.

ඇතැම් රැඳවියන් අසල තිබූ ගිනි අවි පසුව එම ස්ථානවලට ගෙනැවිත් දැමූ ඒවා බව මෙම කමිටු වාර්තාවේ සඳහන් ය.

එහි දැක්වුනේ එවක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව් කොඩිප්පිලි, බන්ධානාගර බුද්ධි අංශයේ ජේලර් ඉන්දික සම්පත්, එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බ්‍රිගේඩියර් ශාන්ත දිසානායක, මැගසින් බන්ධානාගාර අධිකාරී එමිල් රන්ජන් යන පුද්ගලයින් රාජකාරිය පැහැර හැර ඇති බවයි.
වැලිකඩ බන්ධනාගාර ගැටුම පිළිබද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජාතික විගනන පනත මෙන් ප්‍රමාද වෙයි ද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]